සංචාරකයින් 14 ලක්ෂයේ සීමාව පන්නයි - ඉන්දියාවෙන් සංචාරක රැල්ලක්
මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරියේ දත්ත අනුව, පසුගිය අගෝස්තු 13 වැනිදා වනවිට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,436,926ක් වන අතර, ඉන් 358,608 දෙනෙකු ඉන්දීය සංචාරකයින් වේ.
එම කාලය තුළ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණි අනෙකුත් රටවල් ලෙස එක්සත් රාජධානියෙන් 140,892ක්, චීනයෙන් 94,890ක් සහ ජර්මනියෙන් 83,965ක් ලෙස වාර්තා වී තිබේ. මේ අතර, අගෝස්තු මාසයේ පළමු දින 13 තුළ පමණක් සංචාරකයින් 93,511 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
ඉන් පළමු සතිය තුළ සංචාරකයින් 49,759 දෙනෙකු පැමිණ ඇති අතර, දෙවැනි සතියේ පළමු දින හය තුළ සංචාරකයින් 43,752 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. අගෝස්තු 13 වැනිදා දක්වා එම මාසයේදීද වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි.
ඒ අනුව එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 20,378 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය එක්සත් ජනපදයට හිමිව ඇති අතර, එරටින් සංචාරකයින් 10,491 දෙනෙකු පැමිණ තිබේ. ප්‍රංශයෙන් 7,198ක් සහ චීනයෙන් 6,383ක් ලෙස සංචාරකයින් පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.