බේරේ වැව යළි අලංකාර කිරීමට ආයතන තුනක් එකාබද්ධ වෙයි
බේරේ වැව පිරිසිදු කිරීම සඳහා කඩිනම් සහ දිගුකාලීන විසඳුම් ඇතුළත් රාජ්‍ය–පෞද්ගලික ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
එහි පළමු අදියර ලෙස වැවට මුහුදු ජලය ඇතුළු කර ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ වැව පිරිසිදු කිරීම අරමුණු කරගත් විශේෂ තාක්ෂණික ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය.
එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදීමට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා එකඟතාව පළ කර ඇත.
බේරේ වැවේ පිරිසිදුභාවය සහ අලංකාරය දිගුකාලීනව පවත්වාගෙන යාම සඳහා වන වැඩසටහන් මෙවර රජයේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර තිබේ.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිතය.
බේරේ වැව පිරිසිදු කිරීම සහ අලංකරණය පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික අංශවල නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (09) හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු අතර, එය හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ උපදෙස් මත පැවැත්විණි. එහිදී ව්‍යාපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.