අනුස්මරණ උත්සවය ඉවර වූ සැනින් නල්ලූර්හි තිලීපන් ප්‍රතිමාව ඉවත් කළේ ඇයි? රජයේ ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස කියන කතාව
යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් (රාසයියා පාර්තිපන්) අනුස්මරණ චතුරශ්‍රයේ ස්ථාපිත කර තිබූ ඔහුගේ ප්‍රතිමාව, පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉවත් කළ බව රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රතිමාව සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධ නඩුවක් මේ වන විට විභාග වෙමින් පවතින බවත්ය. උතුරු පළාතේ සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී තිලීපන් අනුස්මරණ උත්සව ඔහුගේ ඡායාරූපය භාවිත කරමින් පැවැත්වුවද, ඔහුගේ ප්‍රතිමාවක් ස්ථාපිත කර අනුස්මරණය කළ පළමු අවස්ථාව මෙය බව අමාත්‍ය ජයතිස්ස මහතා පැවසීය.
“මෙවර ප්‍රතිමාවක් ස්ථාපිත කර තිබූ අතර පොලිසිය විසින් එය ඉවත් කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය තහනම් සංවිධානයක්. තහනම් සංවිධානයක ධජ, ලාංඡන ආදිය ප්‍රවර්ධනය කිරීමට හෝ ප්‍රදර්ශනය කිරීමට මෙරට නීතිය ඉඩ දෙන්නේ නැහැ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
ප්‍රතිමාව ඉවත් කිරීමට පෙර පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබූ බවත්, ඒ සම්බන්ධ නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රට තුළ විටින් විට වාර්ගික ආතතීන් ඇති කිරීමට උත්සාහයන් දක්නට ලැබෙන නමුත්, එවැනි ක්‍රියා සම්බන්ධයෙන් රජය නීතිමය පියවර ගන්නා බවද අමාත්‍ය ජයතිස්ස මහතා අවධාරණය කළේය.
යාපනයේ නල්ලූර් හි තිලීපන් අනුස්මරණ චතුරශ්‍රයේ ස්ථාපිත කර තිබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරීම සම්බන්ධයෙන් යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
තිලීපන්ගේ මරණයේ 39 වැනි සංවත්සරය වෙනුවෙන් එම ස්ථානයේ පැවති අනුස්මරණ උත්සව අවසන් වී දිනකට පසු, එනම් සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා, පොලිසිය විසින් ප්‍රතිමාව ඉවත් කර තිබිණි. ඉන්දීය රජය වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් නල්ලූර් ප්‍රදේශයේ ආරම්භ කළ උපවාසයක නිරතව සිටියදී තිලීපන් 1987 සැප්තැම්බර් මාසයේදී මිය ගියේය.
සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර