'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..
මීගමුව ප්‍රදේශයේ තරුණයෙකුට පහරදීමේ චෝදනාවට ලක්ව ඇති, “ටීචර් අම්මා” ලෙස ජනප්‍රිය හයේෂිකා ප්‍රනාන්දු නම් පහේ ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරිය තවමත් අතුරුදන්ව සිටින අතර, ඇයව සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන කටයුතු සිදුවන බව පොලිසිය පවසයි.
පොලිස් ආරංචි මාර්ගවලට අනුව, සැකකාර හයේෂිකා ප්‍රනාන්දු තම ජංගම දුරකථනය අක්‍රිය කර, දියණිය සමඟ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිදුවීම පිටුපස වෙනත් පසුබිමක් ඇති බව පොලිසිය පවසයි.
අන්තර්ජාලය හරහා පමණක් පංති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු, කටානේ ඇගේ නිවසේ කාර්යාලයක පංති කාමරයක් සකස් කර පංති පවත්වන අතර, ඇයට සහාය වීමට දෙතුන් දෙනෙකු සේවය කරන බව කියැවේ. පහර කෑමට ලක්වූ තරුණයා, හයේෂිකාගේ ශිෂ්‍යත්ව පංති සඳහා ග්‍රැෆික් නිර්මාණ සහ සජීවී විකාශනයේ ස්ට්‍රීමින් තාක්ෂණික පහසුකම් සැපයූ අයෙකි.
ඔහු ඇගේ කාර්යාලයේ යම් කාලයක් සේවය කළ අතර, ඔහුට අමතරව තවත් කිහිප දෙනෙකු එහි සේවයේ යෙදී සිට ඇත. මෑතකදී එම කාර්යාලයට නවක තරුණියක බඳවා ගෙන ඇති අතර, ඇයගේ පුහුණුව සඳහා මෙම තරුණයා යොදවා තිබුණි.
ඔහු ඇයට අවශ්‍ය කරුණු උගන්වමින් සමීපව කටයුතු කළ නමුත්, තරුණයා තරුණියට ශාරීරික අයුතුකම් කිරීමට උත්සාහ කළ බවට තරුණිය හයේෂිකාට සහ කාර්යාලයේ කළමනාකරුට පැමිණිලි කර ඇත. මෙම සිදුවීම දින කිහිපයකට පෙර සිදුවී ඇති අතර, එම අවස්ථාවේ කළමනාකරු සහ හයේෂිකාගේ සැමියා සමඟ තරුණයා ඇති කරගත් උණුසුම් බහින්බස්වීමකින් පසු, එම දෙදෙනා තරුණයා රැගෙන කටාන පොලිසියට ගොස් සිදුවීම ගැන පැමිණිලි කර තිබුණි.
පොලිසියේදී ගැටලුව සමථයකට පත්කිරීමට තවත් දිනයක් ලබාදී තිබූ අතර, එම කාලය තුළ තරුණයා රැකියාවෙන් ඉවත් කර තිබුණි. එය අසාධාරණ බව පවසමින්, තරුණයාගේ සහෝදරිය ෆේස්බුක්හි හයේෂිකාට එරෙහිව පෝස්ටුවක් පළ කර, ඇගේ බාහිර චරිතය ඇතුළතින් නොමැති බවට චෝදනා කර තිබුණි.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් හයේෂිකාගේ සැමියා සහ කළමනාකරු නැවත තරුණයා හමුවීමට පැමිණ ගැටුමක් ඇති කරගෙන ඇතැයි පැවසේ. මේ අතර, හයේෂිකාද මැදිහත් වී, සමාජ මාධ්‍ය හරහා තමන්ට අපහාස නොකරන ලෙස බැණ වැදී ඇත. තරුණයා නවක තරුණියට ලිංගික හිරිහැර කළ බව පවසමින්, උණුසුම් බහින්බස්වීමකින් පසු ඔහුගේ රහස් ප්‍රදේශයට පා පහරක් එල්ල කර ඇත.
එම උල් සපත්තු පහරින් තරුණයාගේ රහස් ප්‍රදේශය තුවාල වී රුධිරය වහනය වීමත් සමඟ හයේෂිකා බියට පත්ව පලා ගොස් ඇතැයි පැවසේ. තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, රෝහල් පොලිසිය මගින් පහරදීම පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
එවිටත් හයේෂිකා තම දියණිය සමඟ නිවසින් පලා ගොස් තිබුණි. මෙයට හේතුව ඇයට පොලිසිය සමඟ ඇති සමීප සබඳතා හරහා ඇයව සොයා එන බවට ලැබුණු තොරතුරක් බව පැවසේ. කටාන පොලිසිය ඇයගේ නිවසට පැමිණි විට ඇය නොසිටි බව දැනගත් අතර, සිදුවීමට සම්බන්ධ හයේෂිකාගේ සැමියා සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විමර්ශනවලට අනුව, හයේෂිකා විසින් එල්ල කළ බව කියන පා පහර තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර, ඔහු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.
පොලිස් වාර්තාවලට අනුව, මෙම පහරදීම තරුණයාගේ සහෝදරිය ෆේස්බුක්හි හයේෂිකාට එරෙහිව පළ කළ පෝස්ටුවකට පළිගැනීමක් ලෙස සිදුවූ බව තරුණයා පවසයි. මෙම පළිගැනීමට හයේෂිකා, ඇගේ සැමියා සහ කාර්යාල කළමනාකරු සම්බන්ධ බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ය.
හයේෂිකාගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, මැයි 13 වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. හයේෂිකාව අත්අඩංගුවට ගැනීමට විමර්ශන කඩිනම් කර ඇති බව පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය. පහරකෑමට ලක්වූ තරුණයා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය ස්ථාවර බව රෝහල් ආරංචි පවසයි.


