බොලිවුඩ් නළු සුෂාන්ත් සිංගේ මරණය සියදිවි නසා ගැනීමක්! - නඩුව වසා දැමීමේ තීරණයක්
බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අභිරහස් මරණය සම්බන්ධ නඩුව වසා දැමීමට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
විමර්ශන ආරම්භ වී වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වූ පසු, ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) මෙම නඩුව වසා දැමීමට තීරණය කර ඇතැයි සඳහන් වේ.
සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය පිළිබඳ සිදුකළ විමර්ශනවලදී හෙළි වූ කරුණු අනුව, ඔහු සියදිවි නසා ගැනීමට කිසිදු පෙළඹවීමක් හෝ අනුබල දීමක් සිදුවී නොමැති බව තහවුරු වී ඇත. ඒ අනුව මෙම නඩුව වසා දැමීමට වාර්තාවක් ගොනු කර තිබේ.
34 හැවිරිදි සුෂාන්ත් සිං රාජ්පුත් 2020 ජුනි 14 වැනිදා මුම්බායි, බන්ද්‍රාහි ඔහුගේ මහල් නිවාසයේ එල්ලී සිටියදී හමු වූ අතර, එවකට ඔහු සියදිවි නසා ගැනීමට පෙළඹවූ බවට චෝදනා එල්ල විය.
සුෂාන්ත්ගේ පියා විසින් 2020 අගෝස්තු මාසයේදී ඔහුගේ එවකට පෙම්වතිය වූ නිළි රියා චක්‍රබෝර්ති සහ ඇගේ පවුලට එරෙහිව නඩුවක් ගොනු කරන ලද්දේ, තම පුතාගේ මරණයට ඔවුන් වගකිව යුතු බව පවසමින්ය.
කෙසේ වුවද, රියා චක්‍රබෝර්ති හෝ ඇගේ පවුලේ අය සුෂාන්ත් සියදිවි නසා ගැනීමට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය පවසයි.
ඒ අනුව, රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමව්පියන්, සහෝදරයා ඇතුළු නඩුවේ පෙත්සම් දෙකේ සඳහන් සියලු දෙනා නිදහස් කර ඇතැයි ද එම කාර්යාංශය සඳහන් කරයි.
එසේම, ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ (AIIMS) අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රකාශ කර ඇත්තේ, සුෂාන්ත් රාජ්පුත් ඝාතනයකට ලක්ව නොමැති බවත්, ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් බවත්ය.
මෙම නඩුව වසා දැමීමේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, බන්ද්‍රා මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊළඟ නඩු විභාගය 2025 අප්‍රේල් 8 වැනිදාට කැඳවීමට නියමිතය.
