බොරු චෝදනාවලට මැදිව දස වද විඳිනවට වඩා මැරෙන එක සැපයි - සුරේෂ් සලේ මරණය දක්වා මාරාන්තික උපවාසයක් [VIDEO]
හිටපු මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ එල්ල වන අමානුෂික වදහිංසා සහ පහත් සැලකීම්වලට විරෝධය පළ කරමින්, ඔහු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා හෙළි කර ඇත.
ඒ අනුව සලේ මහතාගේ බිරිඳ සහ පුත්‍රයා කළ ඉල්ලීමකට අනුව මාධ්‍ය වෙත කරුණු දක්වමින් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, මෙම උපවාසයේදී ඔහු ආහාර පමණක් නොව ජීවත්වීමට අත්‍යවශ්‍ය ජලය සහ ඖෂධ ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබෙන බවයි.
එමෙන්ම මෙහිදී සලේ මහතා රඳවා සිටින ස්ථානයේ පවතින අමානුෂික තත්ත්වය පැහැදිලි කරමින් ගම්මන්පිල මහතා විශේෂ සිදුවීමක් අනාවරණය කර ඇත.
ඒ අනුව ඔහු සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සලේ මහතාට ආහාර ලෙස ලබා දී ඇත්තේ රාබු හොදි සමඟ බත් හැන්දක් පමණක් බවත්, එය ලබා දී ඇත්තේ පිඟානකට නොව බිම එළන ලද පත්තර කොළයකට බවත් ඔහු සඳහන් කර ඇත.
හොදිවලට පත්තර කොළය පෙඟී ඉරී යාම හේතුවෙන් ආහාර සියල්ල බිම වැටී ඇති අතර, ඔහුට සිදුව ඇත්තේ බිම වැටුණු ආහාර අනුභව කිරීමට බවත් මෙයින් ඔහු දැඩි මානසික කඩාවැටීමකට ලක්ව ඇති බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
එසේම අද දින පෙරවරුවේ සලේ මහතා බැලීමට ගිය ඔහුගේ සහෝදරයා සහ පුත්‍රයා හමුවේ ඔහු හඬා වැටෙමින් කියා ඇත්තේ,"පොලීසිය මට සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදිහට. මෙහෙම කරන්න මම කරපු වරද මොකක්ද?" යනුවෙන්.
එමෙන්ම මෙවැනි අමානුෂික වදහිංසාවලට ලක්වෙමින් සහ බොරු චෝදනාවලට මැදිවෙමින් ජීවත් වීමට වඩා මියයාම සැපක් බව සලේ මහතා පොලිස් නිලධාරීන් හත් දෙනෙකු ඉදිරිපිටදීම ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් උදය ගම්මන්පිල මහතා මෙහිදී අවධාරණය කර ඇත්තේ සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන සිටින්නේ අධිකරණ නියෝගයක් මත නොව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අවභාවිත කරමින් නිකුත් කළ නියෝගයක් මත බවයි.
එම රඳවා ගැනීමේ නියෝගය මේ වන විටත් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකුට විරුද්ධව ක්‍රියාත්මක වන මෙම ක්‍රියාවලිය ජනාධිපතිවරයාගේ නියෝග මත සිදු වන්නක් බවත්, එය අතිශය නින්දිත සහ අමානුෂික බවත් ඔහු වැඩිදුරටත් පවසයි.