උණුසුම මැද ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරයි
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර එළැඹෙන 12 වන දින තෙක් නැවත රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) දින නියෝග කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඔහුව ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබුණා.
මොහුට එල්ල වී ඇති චෝදනාව වූයේ 2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙක් ලෙස සිටිමින් හා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීමයි.
එමෙන්ම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සුගීෂ්වර බණ්ඩාර මහතා ඉහත තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතා කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියි.
එබැවින් ඔහුට චෝදනා එල්ල වන්නේ, ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ, රුපියල් දහනව ලක්ෂ තිස්තුන්දහස් හැටපහක මුදලකුත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් රුපියල් හතලිස් දෙලක්ෂ විසිහයදහස් අටසීය අසූ හතරයි සත පනස් නවයක් අවභාවිත කර තිබෙන බවටයි.
විමර්ශකයින් අධිකරණය හමුවේ සඳහන් කළේ පොදු දේපළ පනතේ 5 (1) යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරු වැරදි සිදු කර ඇති බවයි.