"එදා කොස්ගොඩ තාරකලා මරද්දී මීක් නොකියපු අය අද කිඹුල් කඳුළු හලනවා" - සුදේශ් නන්දිමාල් දේශපාලකයින්ගේ රෙදි ගලවයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් රඳවියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, එම පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද (09) බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
එහිදී අදහස් දැක්වූ නීතිඥ සේනක පෙරේරා මහතා පැවසුවේ, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වදහිංසා හෝ අමානුෂික සැලකීම් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ රජය නිසි පරීක්ෂණයක් පවත්වා රටට සත්‍ය හෙළි කළ යුතු බවයි.
“දේශපාලනඥයන්ගේ ප්‍රකාශවලට පිළිතුරු දීම අපගේ කාර්යයක් නොවේ. නමුත් වදහිංසා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්නම් ඒ ගැන රජය පැහැදිලි කළ යුතුයි” යැයි ඔහු සඳහන් කළේය.
රැඳවුම් නියෝග ක්‍රමය අධිකරණ අධීක්ෂණයෙන් තොරව ක්‍රියාත්මක වන බවත්, එය ආරක්ෂක ලේකම්වරයාගේ තීරණ මත පමණක් පදනම් වන බවත් පෙන්වා දුන් ඔහු, එය පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් සීමා කරන ක්‍රමවේදයක් බව ද කියා සිටියේය.
කොස්ගොඩ තාරක සහ වසන්ත මුදලිගේ ඇතුළු රැඳවියන් සම්බන්ධයෙන් මීට පෙරද බරපතළ චෝදනා එල්ල වූ බව සිහිපත් කළ නීතිඥවරයා, “අපි සලේ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහු සිරකරුවෙකු වන නිසා මිස දේශපාලනික හේතු මත නොවේ” යැයි පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමෙන් පමණක් ප්රශ්නය විසඳිය නොහැකි බවත්, එය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සුදේශ් නාන්දිමාල් සිල්වා මහතා ද පැවසුවේ, සුරේෂ් සලේ මහතාට වදහිංසා සිදුවන බවට චෝදනා පවතින නමුත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති බැවින් රජය මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ යුතු බවයි.
“අපි දේශපාලන ප්‍රකාශ ගැන කතා කරන්නේ නැහැ. වදහිංසා සිදුවනවා නම් ඒ ගැන පරීක්ෂණයක් කර රටට සත්‍ය දැනුම් දිය යුතුයි” යැයි ඔහු පැවසීය.
තවද, වත්මන් විවේචන එල්ල කරන ඇතැම් දේශපාලනඥයන් අතීතයේ බලයේ සිටි සමයන්හිද රඳවියන් මර්දනයට ලක් වූ බව සඳහන් කළ ඔහු, කොස්ගොඩ තාරකගේ මරණය ඒ සඳහා උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය.
“අද කිඹුල් කඳුළු හලන පිරිස්ම එදා බලයේ සිටියදී රඳවියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළේ නැහැ. සුරේෂ් සලේ ප්රශ්නය දේශපාලනිකව භාවිත කරනවා වෙනුවට,ඔහුට අසාධාරණයක් සිදුවනවා නම් ඒ ගැන අවධානය යොමු කළ යුතුයි” යැයි ඔහු කීය.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ ත්‍රස්තවාදී තත්ත්වයක් නොමැති බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවත්, එම පනත ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.