නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රශ්ණ රැසයි - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් සැර වෙයි
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් රජය ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ බරපතල ප්‍රශ්න ගණනාවක් පවතින බැවින් එය වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බලකර ඇත.
මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ක්‍රියාත්මක වන්නක් බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැඳවුම්කරු පවසා සිටියේ අධ්‍යාපනයේ මූලික ගැටලු හඳුනාගැනීමකින් තොරව සහ එම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන ආකාරයෙන් මෙම ප්‍රතිසංස්කරණ සකස් කර ඇති බවයි.
මෙමගින් මුළුමනින්ම ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක් යෝජනා කර ඇති අතර, එය පාසල් අතර පවතින විෂමතාවය තවදුරටත් වර්ධනය කිරීමට හේතුවන බවද ඔහු අවධාරණය කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන් කරන ප්‍රතිපාදන පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ලොව ඕනෑම හොඳ ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට මානව සහ භෞතික සම්පත් වර්ධනය සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් කළ යුතු වුවත්, ආණ්ඩුව අධ්‍යාපන වියදම් ක්‍රමානුකූලව කප්පාදු කරමින් සිටින බවයි.
විශේෂයෙන්ම 2025 වසරට සාපේක්ෂව 2026 අයවැය මගින් අධ්‍යාපනයේ ප්‍රාග්ධන වියදම් රුපියල් මිලියන 500කින් අඩු කර ඇති බව ඔහු මෙහිදී හෙළිදරව් කළේය.
මීට අමතරව පාසල් පෙළපොත් ඉවත් කිරීම වැනි බරපතල යෝජනාද මෙම ප්‍රතිසංස්කරණවල අඩංගු බවත්, මෙමගින් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව පවා නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවත් ඔහු චෝදනා කළේය.
මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් අගාධයට ඇද දමන මෙම ප්‍රතිසංස්කරණ වහාම නතර කළ යුතු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරයි.