මාරවිල මුහුදු තීරයේදී විශාල රළ පහරකට හසුවී විශ්වවිද්‍යාල වරම් ලැබූ තරුණයෙක් අතුරුදන්- නාවික හමුදා කිමිදුම්කරුවන්ගෙන් හදිසි මෙහෙයුමක්
මාරවිල මුහුදු තීරයේ ස්ථාන දෙකකදී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙකු මුහුදු රළට හසුව ගසාගෙන ගොස් ඇති අතර, එහිදී 21 හැවිරිදි තරුණයෙකු අතුරුදන් වී ඇත.
ඊයේ (12) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ උසස් පෙළ ගණිත අංශයෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා සිටි කුලියාපිටිය, අනුක්කනේ පදිංචි විතානගේ ශාලිත ධනුර්ධර මධුශාන් නමැති තරුණයෙකි.
ඔහු ඇතුළු හත්දෙනෙකුගෙන් යුත් පිරිසක් කුලියාපිටියේ සිට මාරවිල වෙරළ තීරයට විනෝද ගමනක් පැමිණ ඇති අතර, වෙරළේ ගල් දමා ඇති ස්ථානයක වැලි පරයක් මත සිටියදී පැමිණි විශාල රළ පහරකට හසුව මොහු මුහුදට ගසාගෙන ගොස් ඇත.
ප්‍රදේශවාසීන් එක්ව තරුණයා බේරා ගැනීමට උත්සාහ කළද ඒ වන විටත් ඔහු මුහුදේ නොපෙනී ගොස් තිබුණි මොහු බේරා ගැනීමට ගිය තරුණයෙකුද බේරී ඇත්තේ අනූනවයෙනි. ඊට අමතරව, ඊයේ පස්වරුවේම එම ප්‍රදේශයේම මුහුදේ ගසාගෙනයාමට ලක්වූ කාන්තාවන් තිදෙනෙකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්වී ඇත.
අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ දැනුම්දීම මත අද (13) සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මේ අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ පමණක් මේ වන විට පුද්ගලයින් 21 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එසේම පසුගිය මාස දෙකක කාලය තුළ මාරවිල මුහුදේ දිය නෑ 15 දෙනෙකු ගසාගෙන ගොස් ඇති අතර, ඉන් 04 දෙනෙකු මියගොස් සෙසු පිරිසගේ ජීවිත බේරා ගැනීමට ගම්වැසියන් සමත්වී ඇත.
මෙම ප්‍රදේශයේ දිය නෑමෙන් හා මුහුදට බැසීමෙන් වළකින ලෙස මාරවිල පොලීසිය මගින් සවිකර තිබූ අනතුරු ඇඟවීමේ පුවරු පැමිණෙන පිරිස් විසින් කඩා බිඳ දමා ඇති බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් සඳහන් කරති.