මාදුරුඔය ප්‍රධාන ඇළට වැටෙන වන අලින් සුරැකීමට විශේෂ පියවරක්
පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්. ඩී. (Z.D.) ප්‍රධාන ඇළට වැටී අනතුරට පත්වන වන අලින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා කිසිවකුගේ සහයකින් තොරව ඔවුන්ටම ගොඩ ඒමට හැකිවන පරිදි ස්ථාන කිහිපයක කොන්ක්‍රීට් පඩිපෙළවල් ඉදිකරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් ඉල්ලීමක් කරයි.
කිලෝමීටර් 57ක් පමණ දිගින් යුත් මෙම ප්‍රධාන ඇළ ඉදිකළ දා සිට මේ දක්වා වන අලි 100කට ආසන්න සංඛ්‍යාවක් ඇළට වැටී ඇති අතර, ඉන් පස් දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ.
වන අලියෙකු ඇළට වැටුණු විට ඔවුන් ගොඩගැනීම සඳහා වනජීවී නිලධාරීන් දස දෙනෙකු පමණ යෙදවීමට සිදුවන අතර, රථ වාහන, ඉන්ධන සහ අලිවෙඩි සඳහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවේ.
මෙම පඩිපෙළවල් ඉදිකිරීම හරහා එම කාලය, ධනය සහ ශ්‍රමය ඉතිරි කර ගැනීමට හැකිවන බව පිඹුරත්තෑව අඩවි ආරක්ෂක කාර්යාලය පෙන්වා දෙයි.
වන අලි ඇළෙන් ගොඩ ආ පසුව කුපිත වී අසල සිටින නිලධාරීන්ට, වාහනවලට මෙන්ම ප්‍රදේශයේ ජනතාවට ද පහර දීමේ අවදානමක් පවතී.
පසුගිය දිනවලදී ද මෙලෙස ඇළෙන් ගොඩගත් අලින් වනජීවී කැබ් රථවලට සහ යතුරුපැදිවලට හානි සිදු කර ඇත.
මේ අනුව, ප්‍රධාන ඇළේ ග්‍රවල්කන්ද, අලුත්ඔය, වීරාණ, බමුණාකොටුව හා දඹගහඋල්පත යන ප්‍රදේශවල මෙම පඩිපෙළවල් ඉදිකිරීම් කටයුතු සිදුකරන ලෙස වනජීවී නිලධාරීන් මහවැලි බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත.