ලොවම කතා කළ "ආටෙමිස් II" මෙහෙයුම නිසා ශ්‍රී ලංකාව ගැන කතාවෙයි කියලා කවුද හිතුවේ - ශ්‍රී ලාංකිකයෙකුත් මෙහෙයුමට එක් වෙලා[PHOTOS]
ලොවක් කතා කළ "ආටෙමිස් II" මෙහෙයුම සම්බන්ධයෙන් තවත් විශේෂ ආරංචියක් ඔන්න ශ්‍රී ලංකාවට තියෙනවා. ඒකට හේතුව නාසා ‘ආටෙමිස් II’ මෙහෙයුම පිටුපස අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු සිටීම.
වසර 54කට පසු මිනිසුන් සිව්දෙනෙකු රැගෙන සඳ බලා පියඹා යන අමෙරිකාවේ නාසා (NASA) ආයතනයේ "ආටෙමිස් II" (Artemis II) මෙහෙයුම පිටුපස සිටින ප්‍රධාන ඉංජිනේරුවරයෙකු වශයෙන් ශ්‍රී ලාංකිකයෙකු වන ජනක විජේසිංහ ලෝකයේම අවධානය දිනාගෙන අවසන්.
ගුවන්යානා හා අභ්‍යවකාශ ඉංජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කරන ඔහු, මෙම ඓතිහාසික රොකට් මෙහෙයුමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.
ලෝකෙම කතාබහට ලක්වූ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඇරඹෙයි - සුපිරි නළු තලපති විජෙයි නිසා සැවොම කුතුහලෙන්
ගම්පහ ප්‍රදේශයේ උපත ලද ජනක විජේසිංහ සිය මූලික අධ්‍යාපනය ඕමානයේ ශ්‍රී ලංකා පාසලකින් ලබා ඇති අතර අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු නවයේ සිටම අභ්‍යවකාශ ගවේෂණය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ ඔහු, අමෙරිකාවේ අභ්‍යවකාශ වැඩසටහන්වලට සම්බන්ධවීමේ සිහිනයක පසු වූවෙක්.
මේවන විට අමෙරිකාවේ පදිංචිව සිටින ඔහු සිය බිරිඳ සහ සිව් හැවිරිදි දියණිය සමඟ කාලය ගත කරන ඔහු සිය රැකියාව අතිශය අභියෝගාත්මක වුවද, එය මහත් ආශාවකින් සිදු කරන බැවින් තමන් ඉමහත් සතුටට පත්වන බව පවසයි.
එමෙන්ම සිය වෘත්තීය ජීවිතය ඕස්ට්‍රේලියාවේ බෝයිං (Boeing) සමාගමෙන් ආරම්භ කර පසුව අමෙරිකාවේ සීඇටල් සහ දකුණු කැරොලිනා ප්‍රාන්තවල පිහිටි බෝයිං ප්‍රධාන ශාඛාවල සේවය කළ බව වාර්තා වේ.
2020 වසරේදී බෝයිං සමාගම නාසා ආයතනය වෙත තාක්ෂණික සහාය ලබාදීමත් සමඟ ඔහුට ‘ආර්ටෙමිස්’ වැඩසටහනට එක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ අනුව මේ වන විට ඔහු වසර 6ක පමණ කාලයක සිට නාසා ආයතනය සමඟ සමීපව කටයුතු කරන බව සඳහන්. ජනක විජේසිංහ ‘ආර්ටෙමිස් II’ මෙහෙයුම සඳහා භාවිතා කරන SLS (Space Launch System) රොකට්ටුව නිර්මාණය කළ ඉංජිනේරු කණ්ඩායමේ නායකත්වයක් දැරූ අයෙක් බවත් විශේෂයෙන්ම රොකට්ටුවේ ප්‍රධානතම කොටස වන ‘Core Stage’ (මධ්‍යම අවධිය) නිර්මාණය කිරීමේදී ඔහුගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් සඳහන්.
එසේම මෙම මෙහෙයුමට එක්වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ජෙරමි හැන්සන් සහ අභ්‍යවකාශයේ වැඩිම කාලයක් රැඳී සිටීමේ වාර්තාවට හිමිකම් කියන ක්‍රිස්ටිනා කොක් යන ගගනගාමීන් සිව්දෙනා මෙහෙයුමට පෙර ඉංජිනේරු කණ්ඩායම හමුවී තම කෘතඥතාව පළ කර ඇති අතර එහිදී විජේසිංහ මහතාට ඔවුන් සමඟ සමීපව සුහද කතාබහක නිරත වීමටද අවස්ථාව හිමිවී ඇති බවත් වාර්තා විය.


