ලංකා - වියට්නාම වෙළඳ ඉලක්කය ඩොලර් බිලියනයයි
2030 වන විට ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (08) නිවේදනය කළේය.
කොළඹදී පැවති ශ්‍රී ලංකා - වියට්නාම ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු සංචාරක වියට්නාම ජනාධිපතිවරයා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටූ ලැම් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම ඉලක්කය ප්‍රකාශ කළේය.
මෙහිදී ජනාධිපතිවරයා වියට්නාම ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ප්රමුඛ ආර්ථික අංශ කිහිපයක ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස ආරාධනා කළේය. ඒ අතර,
පුනර්ජනනීය බලශක්තිය, සැපයුම් සහ ලොජිස්ටික්ස්, යටිතල පහසුකම් සංවර්ධනය, සංචාරක ව්‍යාපාරය, නිෂ්පාදන කර්මාන්ත ද ඇතුළත් වේ.
කෘෂිකර්මයට වියට්නාම සහාය
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, යූරියා සහ සුපර් පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් වියට්නාමය විසින් පරිත්‍යාග කිරීමට එකඟ වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සැලසුම්
කොළඹ සහ වියට්නාමයේ හෝ චි මිං නගරය හෝ හැනෝයි අතර සෘජු ගුවන් සේවා මෙම වසර තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම පියවර දෙරට අතර සංචාරක සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ගිවිසුම් පහකට අත්සන්
මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සංස්කෘතිය, ආගම, විද්‍යාව සහ තාක්ෂණය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් පහකටද අත්සන් තැබුණි.
දෙරට අතර මෙම නව එකඟතා මගින් ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවත් ඉහළ මට්ටමකට ගෙන යාම අපේක්ෂා කෙරේ.