සංචාරක කර්මාන්තයෙන් සුබ ආරංචියක් - මේ වසරේ දැනට සංචාරකයින් මිලියන එකහමාරක් පසුකරයි
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 27 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, එම කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,517,296ක් ලෙස වාර්තා වී ඇත.
අගෝස්තු 1 වැනිදා සිට 27 වැනිදා දක්වා පමණක් සංචාරකයින් 173,878 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 41,781කි. එක්සත් රාජධානියෙන් සංචාරකයින් 18,197ක් පැමිණ ඇති අතර, චීනයෙන් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 11,368කි.
මේ අතර, වසරේ මේ දක්වා මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 380,011කි. එක්සත් රාජධානියෙන් සංචාරකයින් 148,598ක් සහ චීනයෙන් සංචාරකයින් 99,875ක් මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ තිබේ.
තවද, වසරේ මෙතෙක් වැඩිම සංචාරක පැමිණීම වාර්තා වී ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර, එම මාසයේදී සංචාරකයින් 279,328 දෙනෙකු මෙරටට පැමිණ ඇත.