එල්-නිනෝ යාලට තදින්ම බලපායි - වන සතුන් බේරාගන්න යාල කලාපයක් වහන්න සූදානම්
By Kanchana
එල්-නිනෝ බලපෑම සහ අධික උෂ්ණත්වය හමුවේ යාල ජාතික උද්‍යානයේ වන සතුන්ගේ ජීවන රටාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වනජීවී අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා ප්‍රකාශ කරයි.
තත්ත්වය උග්‍ර වුවහොත් එළඹෙන සැප්තැම්බර් 14 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා යාල කලාප අංක 01 තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
නියඟයෙන් වන සතුන් ආරක්ෂා කරගැනීම, උද්‍යානයේ නඩත්තු කටයුතු සිදුකිරීම සහ වැසි ලැබුණහොත් මාර්ග ආරක්ෂා කරගැනීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණයි.
කෙසේ වෙතත් මෙම කාලසීමාවේදී යාල 02 සහ 03 කලාප සංචාරකයන් සඳහා විවෘතව තැබෙන අතර, ප්‍රමාණවත් වැසි ලැබී උෂ්ණත්වය සමනය වුවහොත් නියමිත දිනට පෙර උද්‍යානය නැවත විවෘත කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.