මෙරට පාපන්දුවත් උණුසුම් කරමින් ශ්‍රී ලංකා සුපර් ලීගය යළිත් ඇරඹෙයි
මෙරට ඉහළම පෙළේ දේශීය පාපන්දු තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය වසර තුනක විරාමයකින් අනතුරුව ඊයේ (11) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා වෘත්තීය පාපන්දු ක්ෂේත්‍රයට නව ජවයක් එක් කරමින් පැවැති තරගාවලියේ සමාරම්භක උත්සවය ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
උත්සවය සඳහා පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමර් මහතා ඇතුළු නිලධාරීන් විසින් පිළිගනු ලැබූ අතර, පාපන්දු ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ආරාධිතයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙවර සුපර් ලීග් තරගාවලිය සඳහා මෙරට ප්‍රබලතම වෘත්තීය පාපන්දු සමාජ 10ක් එක්වන අතර, තරගාවලිය සති නවයක කාලයක් පුරා සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
එළඹෙන නොවැම්බර් මාසයේ බංග්ලාදේශයේදී පැවැත්වෙන සාෆ් (SAFF) කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සූදානම් වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ටද මෙම තරගාවලිය වැදගත් පුහුණු අවස්ථාවක් වනු ඇත.
තරගාවලියේ ආරම්භක තරගය ලෙස වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජය සහ කටුනායක බ්ලූ ඊගල්ස් ක්‍රීඩා සමාජය අතර තරගය පැවැත්විණි. දැඩි තරගකාරීත්වයකින් යුතුව පැවැති එම තරගය අවසානයේදී ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, කණ්ඩායම් දෙකම සුපර් ලීග් ගමන එක් ලකුණ බැගින් හිමිකර ගනිමින් ආරම්භ කළහ.