අද උදේ 10ට වාහන අංක තහඩු මුද්‍රණය නිල ලෙස යළි ඇරඹෙයි
වසරකට වැඩි කාලයක් අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (8) පෙරවරුවේ සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී අද පෙරවරු 10.00 ට වාහන අංක තහඩු මුද්‍රණය නිල ලෙස යළි ආරම්භ කරන බවත් එම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගිවීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු කී බව සඳහන්.
ඉකුත් 2025 වසරේ මැයි මස 16 වැනි දින අංක තහඩු මුද්‍රණය කිරීම නතර කර තිබුණේ මෝටර් වාහන අංක තහඩු මුදුණය කිරීමේ ටෙන්ඩරයේ ගැටලුවක් හේතුවෙන්.
ඒ අනුව මෝටර් වාහන අංක තහඩු මුදුණය යළි ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සමඟ ඉකුත් මාර්තු මස 10 වැනි දින ගිවිසුම්ගත වී ඇත.
කෙසේ වෙතත් මෝටර් වාහන අංක තහඩු මුදුණය කිරීම අත්හිටුවා වසරක කාලයක් ගතවී ඇති බැවින් වර්තමානය වන විට මුද්‍රණය කර නිකුත් කිරීමට වාහන අංක තහඩු ලක්‍ෂ 4 කට අධික සංඛ්‍යාවක් එකතු වී ඇති බවත් වාර්තා වේ.
එමෙන්ම මෙම අංක තහඩුවට යතුරුපැදි, ත්‍රිරෝද රථ, කාර්, වෑන් සහ බස් ඇතුළු වාහන රැසක් ඇතුළත් අතර යතුරුපැදි අංක තහඩු පමණක් ලක්‍ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ඇති බවත් අඳාළ නිලධාරියා පවසා ඇති බව සඳහන්.