ශ්‍රී ලංකාවේ ජලාශවල අවදානමක් - වියළි කාලගුණයෙන් ජල මට්ටම් පහළ යයි
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර, මේ වන විට සියලුම ජලාශවල සමස්ත ජල ධාරිතාව 47.3%කට ආසන්න වී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමනාකරණ) එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව මේ වන විට 34.4%ක් පමණ වන බවයි. එමෙන්ම අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ජලාශවල ජල මට්ටම්ද 20%කට ආසන්න මට්ටමකට පහළ බැස ඇති බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, යල කන්නය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බැවින් පවතින ජල ප්‍රමාණය එම කන්නයේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම ජලාශවලින් පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රදේශ සඳහාද ඉදිරි වර්ෂාපතනය ලැබෙන තෙක් පවතින ජලය ප්‍රමාණවත් වනු ඇතැයි අපේක්ෂා කරන බව හේරත් මහතා සඳහන් කළේය. මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් ජලාශවලින් සිදුවන ජල වාෂ්පීකරණය ඉහළ ගොස් තිබේ.
ඒ හේතුවෙන් වගා කටයුතු සහ පානීය ජල අවශ්‍යතා සඳහා ජලය භාවිත කිරීමේදී අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ අතර, ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මහ කන්නය ආරම්භ කිරීමේදී ජලාශවල පවතින ජල ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් කන්න රැස්වීම්වලදී ගනු ලබන තීරණ අනුව වගා කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.