ගිනි ගණන් යන බඩු මිලත් එක්ක තවත් අසුබ නිවේදනයක් - ලංකාවේ උද්ධමනය දෙගුණ තෙගුණ වෙයි
ශ්‍රී ලංකාවේ සමස්ත මතුපිට උද්ධමන අනුපාතය පසුගිය මාර්තු මාසයේ පැවති 2.4% සිට අප්‍රේල් මාසය වන විට 4.7% දක්වා කැපී පෙනෙන ආකාරයට ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකය ඇසුරින් සකස් කළ නවතම මාසික වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.
අඳාළ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2026 මාර්තු මාසයේදී 210.9 ක් වශයෙන් සටහන් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය, අප්‍රේල් මාසය වන විට 216.3 දක්වා වැඩි වී ඇති බව දැක්වේ.
එම මාසික වෙනස් වීම සඳහා ආහාර කාණ්ඩය මඟින් 0.46% ක දායකත්වයක් සහ ආහාර නොවන කාණ්ඩය මඟින් 2.08% ක දායකත්වයක් ලැබී ඇති බව එහි සඳහන්.
එමෙන්ම නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන "යටිදැරි උද්ධමනය" ද මාර්තු මාසයේ පැවති 198.6 සිට අප්‍රේල් මාසයේදී 202.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එබැවින් මෙරට පොදු මිල මට්ටමෙහි සමස්ත වැඩිවීම 116.3% ක් වශයෙන් වාර්තා වේ. තවද ජාතික පාරිභෝගික මිල දර්ශකය තුළ 39.22% ක බර තැබීමක් සහිත ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී 1.1% ක් වශයෙන් සටහන් වූ අතර, එහි මාසික වෙනස 1.8% ක් වේ.
එසේ වුවත් දර්ශකයේ වැඩිම බර තැබීමක් (60.78%) හිමි ආහාර නොවන කාණ්ඩයේ මිල මට්ටම් ඉහළ යාම මෙසේ සමස්ත උද්ධමනය වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සඳහන්.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 7.8% ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, එහි මාසික වෙනස 2.6% ක් වශයෙන් දැක්වේ.
