ආයේ සූදු ගහලා ඉවරයි - නියාමන කටයුතුවලට අදාළ රෙගුලාසි ඇතුළත් කෙටුම්පත සකස් කර අවසන්
සූදු ක්‍රීඩා නියාමන අධිකාරියට එළඹෙන සැප්තැම්බර් අවසානයේ සිට නියාමන කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බව එම අධිකාරියේ සභාපති වසන්ත නවරත්න බණ්ඩාර මුදල් කාරක සභාව හමුවේ පවසා ඇති බව සඳහන්.
ඒ පාර්ලිමේන්තුවේ ඉකුත් 14 වැනිදා පැවැති එම කාරක සභාවට එම අධිකාරිය කැඳවා තිබූ විටදීයි.
ඊට ප්‍රතිචාර ලෙස මුදල් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත්තේ නියාමනය ආරම්භ කරන බව වරින් වර අසා තමන් වෙහෙසට පත්ව ඇති බවයි.
ඒ අනුව අධිකාරියේ සභාපතිවරයා, ‘‘නියාමන කටයුතුවලට අදාළ රෙගුලාසි ඇතුළත් කෙටුම්පත සකස් කර අවසන්. එම රෙගුලාසි අධ්‍යයනය කිරීමට නීති ක්ෂේත්‍රයේ විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුවේ සලකා බැලීමෙන් පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවනවා’’ යනුවෙන් පැවසූ අතර මුදල් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ, ‘‘2022 වසරේ සිට මාස තුනෙන් තුනට මේක ක්‍රියාත්මක කරනවා කියලා අහලා දැන් වෙහෙසයි. සූදු නියාමනය ප්‍රමාද වෙන්න වෙන්න ඇති වන්නෙ ගැටලු. ක්‍රිකට්වල දෙවැනි බෝලයේ සිට සූදුව පටන් ගන්නවා. ළමයි ඇබ්බැහි වෙනවා.’’ යනුවෙන්.
එමෙන්ම නියාමන අධිකාරිය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත ක්‍රියාවලියක නිරතව සිටින බව පෙනෙන්නට නැති බව ද කාරක සභාවට එක්ව සිටි කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පවසා ඇත.