සහනාධාරය මදි වීමෙන් ඉන්ධන අර්බුදය උඩු දුවයි - ලංකාවටම ඉන්ධන හිඟයක් නිර්මාණය වීමේ අවදානමක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් පිරිනමන ලද සහනාධාර මුදල ප්‍රමාණවත් නොවන බව කියමින් මෙරට ක්‍රියාත්මක විදේශීය ඉන්ධන සමාගම් සිය සැපයුම් කටයුතු සීමා කිරීම නිසා ඉන්ධන හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙරට වෙළෙඳපොළේ ඉන්ධන බෙදාහරින විදේශීය සමාගම් වෙත ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාර මුදලක් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබුණා.
එහෙත් එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන අදාළ සමාගම්, එක් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 135 සිට රුපියල් 247 දක්වා ඉහළ සහනාධාරයක් ඉල්ලා සිටීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර අර්බුදය උග්‍ර වී තිබෙන බව සඳහන්.
අනිද්දයින් පස්සේ ඉන්ධන බෙදීම නවතී ද? මිල සූත්‍රය අධ්‍යයනය කර දැනුම් දෙන්න තෙල් බෙදුම්කරුවන් අනිද්දා තෙක් කල් ගනියි
එමෙන්ම මේ වන විට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම, සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් සති කිහිපයක සිට සිය දෛනික සැපයුම සීමා කර තිබෙන අතර, පවතින ගැටලුව නිරාකරණය කර ගැනීමට බලශක්ති අමාත්‍යාංශය සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටින බව ද පවසයි.
මේ අතර ඉකුත් දා රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත්ත ද, එම මිල සංශෝධන ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බව කියමින් මෙම සමාගම් තවදුරටත් ඉන්ධන සැපයුම සීමා කර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහිදී විශේෂයෙන්ම ඉකුත් සතිය වන විට ඩීසල් සැපයුම මුළුමනින්ම පාහේ අත්හිටුවීමට එම සමාගම් ක්‍රියා කර ඇති බව සඳහන්.
ඒ අනුව පිරවුම්හල් හිමියෝ දැඩිව අවධාරණය කරන්නේ පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරමින් පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් කඩිනම් සහ තිරසාර පියවරක් ගත යුතු බවයි.