ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි - මාස 7කදී නව වාර්තාවක්
මෙරට අපනයන ආදායම මේ වසරේ මුල් මාස හත තුළ අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මේ බව සඳහන් කළේ, 2026 ජූලි මාසයේ අපනයන කාර්ය සාධනය පිළිබඳව අද (31) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ඒ අනුව, ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 8,188ක ආදායමක්ද, සේවා අංශයේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,199ක ආදායමක්ද උපයා තිබේ.
සභාපතිවරයා පෙන්වා දුන්නේ, මෙරට අපනයන ආදායම මාස හතක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක් ලෙස වාර්තා වන්නේ පළමු වරට බවයි. මෙම වර්ධනය සඳහා තේ හා පොල් ආශ්රිත නිෂ්පාදන, රබර් කර්මාන්තය, ආහාර හා පාන වර්ග, විදුලි උපකරණ, මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු ඇතුළු ක්ෂේත්‍ර රැසක් දායක වී තිබේ.
මේ අතර, සේවා අපනයන අංශයේදී තොරතුරු තාක්ෂණ හා ලොජිස්ටික් ක්ෂේත්රවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බවද මංගල විජේසිංහ මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හත තුළ තේ අපනයන ආදායමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් තේ අපනයනයට බාධා එල්ල වීම එම අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ජූලි මාසය පමණක් සැලකීමේදී මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක් ලෙස වාර්තා වී ඇති අතර, ඉන් ඩොලර් මිලියන 1,285ක් වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන්ද, ඩොලර් මිලියන 351ක් සේවා අපනයනයෙන්ද උපයා තිබේ.