අන්තිම තරඟය වැස්සට හේදුණත් කොදෙව්වන්ට වැඩ වැරදෙයි - ලංකාවට සුපිරි ජයක්

Report

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ අවසන් එක්දින ක්‍රිකට් තරගය අධික වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අතහැර දැමීමට සිදු විය.

සබිනා පාර්ක් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් පිටිය ක්‍රීඩා කිරීමට නුසුදුසු තත්ත්වයට පත්ව තිබූ අතර, විනිසුරුවන් කිහිප වරක් පිටිය පරීක්ෂා කළද තරගය ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බව තීරණය කළහ.

ඒ අනුව තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගාවලියේ පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 41ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබූ අතර, එම ජය තරගාවලියේ තීරණාත්මක සාධකය බවට පත් විය.

විනිසුරුවන් සහ ක්‍රීඩාංගණ නඩත්තු කාර්ය මණ්ඩලය අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව, ඕවර 20 බැගින් වූ තරගයක් හෝ ආරම්භ කිරීමට නියමිත අවසන් කාලසීමාව වන රාත්‍රී 8.02 වන විටත් තත්ත්වය යහපත් නොවූ බැවින් තරගය නිල වශයෙන් අත්හැර දැමුණි.

මෙම තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසද සැලකේ. 2003 වසරෙන් පසු කැරිබියන් දූපත්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමක් හිමිකරගත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයකි.