ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය දියුණු කරන්න රුසියාවෙන් පූර්ණ සහාය
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුවේ පූර්ණ සහයෝගය හිමිවන බව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mikhail Murashko) මහතා පවසයි.
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඒ මහතා සහ මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද (04) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණාත්මක එකඟතාවන්ට එළඹ තිබේ.
මෙම හමුවේ විශේෂිතම අවධානය යොමු වූයේ කෘෂිකාර්මික හා නාගරික ප්‍රදේශවල රෝග 42ක් කල්තියා හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධිය (AI) සහිත නවීන තාක්ෂණික උපකරණ පද්ධතියක් මෙරටට හඳුන්වා දීම කෙරෙහිය.
තාක්ෂණික සහායට අමතරව, මෙරට වෛද්‍යවරුන් වෙනුවෙන් රුසියාවේදී උසස් වෛද්‍ය අධ්‍යාපනය සහ විශේෂ පුහුණු අවස්ථා ලබාදීමට ද රුසියානු අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිඥා දුන්නේය.
මීට අමතරව ඖෂධ නිෂ්පාදනය, සැපයුම්දාමය ශක්තිමත් කිරීම සහ මෙරට සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන බලශක්ති ගැටලුවලට විසඳුම් ලබාදීමට ද රුසියාව සූදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සහයෝගීතාව නිල වශයෙන් තහවුරු කිරීම සඳහා ඉදිරියේදී දෙරට අතර අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් කිරීමට නියමිතය.
රුසියාවේ ක්‍රියාත්මක සාර්ථක සෞඛ්‍ය පද්ධතිය සහ AI තාක්ෂණික ප්‍රතිකාර සේවා පිළිබඳ ප්‍රායෝගික අධ්‍යයනයක නිරත වීම සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු දූත පිරිසකට රුසියාවේ නිල සංචාරයක නිරත වන ලෙස ද රුසියානු අමාත්‍යවරයා මෙහිදී ආරාධනා කළේය.