දුර ගමන් බස් රියදුරන් පිළිබඳ විශේෂ තීරණයක්
කොත්මලේ ගැරඬිඇල්ල ලංගම බස්රථ අනතුරෙන් පසුව දුර ගමන් සේවා බස්රථවල සේවය කරන රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ලැබෙන විවේකකාලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතිඥ කමල් අමරසිංහ ප්‍රකාශ කළේය.
මෙම මාරක බස්රථවල අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේදැයි කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම මෙවැනි දුෂ්කර මාර්ග හරහා රාත්‍රි කාලයේදී සිදු කරන දුර ගමන් මගී ප්‍රවාහන සේවාවන් පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. “කතරගම කුරුණෑගල කියන්නේ ඉතාම දීර්ඝ කාලයක් වැයවෙන ප්‍රවාහන සේවාවක්.
මෙහිදී මෙවැනි ගමන්වල යෙදෙන බස්රථ සේවකයන්ට ලැබෙන විවේක කාලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. එවැනි දිගු ගමනකට පෙර ඔවුන්ට නිසි විවේකයක් ලැබෙනවාද? ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් බස් ඩිපෝවලින් සැපයෙනවාද?
ඔවුන් ගමනේ අතරමගදී යම් විවේකයක් ගන්නවාද කියන කරුණු පිළිබඳවත් අවධානයක් අපි මේවනවිට යොමු කරලා තිබෙනවා. මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ සහකාර කොමසාරිස්වරුන්ගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
