කථානායකට නිල නිවාස දෙකක්..පෞද්ගලික ලේකම්ටත් ලොරිස් පාරේ නිල නිවසක්? දයාසිරිගේ චෝදනාවට උත්තර දෙන්න හරිනියි නලින්දයි පොරකයි
කථානායක ජගත් වික්‍රමරත්න මහතා කථානායක නිල නිවස නිල කටයුතු සඳහා භාවිතා කරන බවත්, එම පරිශ්‍රය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නඩත්තු කටයුතු රජය විසින් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය අද(05) දින පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
පාර්ලිමේන්තුවේදී මතු වූ උණුසුම් විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායකවරයා නිල නිවාස දෙකක් පරිහරණය කරන බවටත්, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටද ලොරිස් පාරේ නිල නිවසක් ලබා දී ඇති බවටත් චෝදනා කර සිටියා.
එසේම මෙහිදී කථානායකවරයා නිල නිවසේ පදිංචි වී නොමැති නම් එහි නඩත්තුව සඳහා සේවකයන් හත් අට දෙනෙකු පත් කළේ ඇයි? යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියා.
මෙතන මහා ලොකු හොරකමක් වෙලා තියෙනවා - රටම කතා කළ මහා භාණ්ඩාගාර හොරකමේ සියලු විස්තර හර්ෂ රටටම දිගාරියි
එයට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, කථානායකවරයා එහි පදිංචිව නොසිටියද රජයේ නිල උත්සව, රැස්වීම් සහ විදේශීය නියෝජිතයන් හමුවන අවස්ථාවලදී එම නිල නිවස භාවිතා කරන බවයි.
ඒ අනුව ඇය පෙන්වා දුන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ රාත්‍රී භෝජන සංග්‍රහ වැනි කටයුතු සඳහා මෙවැනි නිල නිවාස යොදා ගන්නා බවයි.
තවද එම පරිශ්‍රයේ ඇති විශාල භූමිය සහ ගොඩනැගිල්ල අයාලේ යාමට ඉඩ නොදී, එය ඊළඟ ප්‍රයෝජනවත් කටයුත්තක් සඳහා යොදා ගන්නා තෙක් නඩත්තු කිරීම රජයේ වගකීමක් බවත්, ඒ සඳහා අවම සේවක පිරිසක් යොදවා ඇති බවත් ඇය වැඩිදුරටත් එහිදී පැවසුවා.
මේ අතර මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පවතින අමාත්‍ය නිල නිවාස 47 සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බවයි.
එබැවින් අමාත්‍ය නිල නිවාස පරිහරණයෙන් ඉවත් වී ඇති අතර, ඉන් නිවාස කිහිපයක් දැනටමත් මහාධිකරණ කටයුතු සඳහා ලබා දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම සෙසු නිවාස රටේ ආර්ථිකයට ප්රතිලාභ ලැබෙන කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවත්, කථානායකවරයාගේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට අමාත්‍ය නිල නිවාස ලබා දී නොමැති බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.