අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32ක් ඉදිරිපත් කළ විශ්වාසභංගය ගැන කථානායක නිවේදනය
අද (25) දින පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවේ ක්‍රියා පටිපාටි උපුටා දක්වමින්, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පිළිගැනීමට තමාට හැකියාවක් නොමැති බව නිවේදනය කර තිබෙනවා.
අඳාළ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් 31 දෙනෙකු අත්සන් තබා තිබුණා.
එහෙත් කථානායක පවසා සිටියේ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කරමින් ස්ථාවර නියෝග 76(1) අනුව අභියාචනා කිරීමට හෝ අභියෝග කිරීමට නොහැකි විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් තමාගේ තීරණය දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පවතින පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටියේ නියමිත විධිවිධාන තිබියදීත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරන ලද ඉල්ලීම් සලකා බලා, යෝජනාව පිළිබඳව තම තීරණය යළි පැහැදිලි කිරීමට තීරණය කළ බව කථානායකවරයා ප්‍රකාශ කළා.
කථානායකවරයා පාර්ලිමේන්තුවදී ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කළ එම පැහැදිලි කිරීමේ සරල සිංහල සාරාංශය පහතින් දක්වා ඇත.
“2025.08.12 දින ගරු විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද ‘විශ්වාසභංග යෝජනාව’ යන යෝජනාව සම්බන්ධයෙන් මා විසින් 2025.09.08 දින කරන ලද නිවේදනයෙහි දිගුවක් ලෙස මෙම නිවේදනය සිදු කිරීමට කැමැත්තෙමි. කථානායකවරයා පාර්ලිමේන්තුවේ නීති රීති පිළිපැදීම සඳහා වගකිව යුතු අතර, ඕනෑම රීති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහුගේ/ඇයගේ තීරණය අභියාචනයකට අවකාශ නොතිබිය යුතු බවත්, එසේ දැනුම් දීමෙන් පසු ඉදිරිපත් කරන ලද පූර්ණ යෝජනාවක් මත හැර එම තීරණය පාර්ලිමේන්තුව විසින් සමාලෝචනය නොකළ යුතු බවත් වන පාර්ලිමේන්තු සඳහන් ස්ථාවර නියෝග 76(1) මම මෙම සභාවට මතක් කර දීමට කැමැත්තෙමි. කෙසේ නමුත්, පාර්ලිමේන්තුවේදී මතු කරන ලද ප්‍රශ්න පිළිබඳ ව සලකා බලන විට, එම යෝජනාව කථානායක නියෝගයකින් බැහැර කිරීම සඳහා පෙර මා විසින් සිදු කළ නිවේදනයේ ඉස්මතු කර ඇති සාධක තවදුරටත් සනාථ කිරීමට කැමැත්තෙමි.
1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග, තනි කැබිනට් අමාත්‍යවරයෙකුට, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හෝ වෙනත් අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධ විධිවිධාන කිසිවක් නොදක්වයි. විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් පවතින එකම විධිවිධානය වන්නේ රජයකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පමණක් විධිවිධාන සලසා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49(2) වගන්තිය පමණයි. කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝග නොතකා, අග්‍රාමාත්‍යවරයාට, අමාත්‍ය මණ්ඩලයේ තනි තනි අමාත්‍යවරුන්ට එරෙහිව මෙසේ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා මඟින් ඔබ විසින් දෙනු ලබන පූර්වාදර්ශය මෙම ක්‍රියාවලියේ නෛතික පදනම ප්‍රශ්න කරන බවයි මගේ මතය. පාර්ලිමේන්තු සන්දර්භය තුළ, කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, පාර්ලිමේන්තුවේ සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන අය පාර්ලිමේන්තුවේ නිලධාරීන් ලෙස සලකනු ලබන අතර, මෙවැනි විශ්වාසභංග යෝජනා ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කිරීමට හැකි වටපිටාව ද නෛතික රාමුව තුළ දක්වා ඇත. ජාත්‍යන්තර සන්දර්භය තුළ ද විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවසර දී ඇත්තේ රජය / අමාත්‍ය මණ්ඩලය සමස්තයක් ලෙස ගනිමින් පමණක් බව ද මම මෙහිලා අවධාරණය කිරීමට කැමැත්තෙමි. (Erskine May, ‘Treatise on the Law, Privileges, Proceedings and Usage of Parliament’, 25th Ed. and M.N. Kaul and S.L. Shakdher, ‘Practice and Procedure of Parliament’, 8th Ed.) තවද, එම්.එන්. කෞල් සහ එස්.එල්. ෂක්දර් අවධාරණය කරන්නේ, ලෝක් සභාවට අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම සම්බන්ධයෙන් ඉන්දියානු ව්‍යවස්ථාපිත විධිවිධානවලට අනුව, විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ සමස්තයක් ලෙස අමාත්‍ය මණ්ඩලයට එරෙහිව පමණක් බවත්, කිසිදු තනි අමාත්‍යවරයෙකුට එරෙහිව නොවන බවත්ය. ඒ හා සමානව ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42, 43 සහ 44 වගන්ති මගින් අමාත්‍ය මණ්ඩලයේ සාමූහික සහ තනි අමාත්‍ය වගකීම සඳහා විධිවිධාන සලසා ඇත. වර්තමානයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) වගන්තිය යටතේ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ට සහාය වීම සඳහායි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) වගන්තිය යටතේ ක්‍රියා කරන අතර, කැබිනට් අමාත්‍යවරුන්, කිසිදු විෂයයකට හෝ කාර්යයකට අදාළ කිසිදු බලයක් හෝ රාජකාරියක් නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පවරා නැත. කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතැම් අවස්ථාවන්හි ස්ථාවර නියෝග 32(2) ප්‍රකාරව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) වගන්තියට අනුකූලව අමාත්‍යවරුන් වෙනුවට ක්‍රියා කරන ආකාරය අපට දැකගන්නට පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වන වගන්තිය සලකා බලමිනුයි මෙම කාර්යය සිදුවන්නේ. ඔබ එය කියවිය යුතු යැයි යෝජනා කිරීමට මම කැමතියි. ඉහත සඳහන් හේතු නිසා, ස්ථාවර නියෝග 27(3) ප්‍රකාරව යෝජනාව ක්‍රියාත්මක නොවන බව මම තීරණය කරමි. ඒ අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ කරුණුවල ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින් සහ නීතිපතිවරයාගේ මතය අනුව, මෙම යෝජනාවේ නිශ්චිත කරුණු අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩු වලට සෘජුවම බලපාන්නේ නැති බැවින්, දැනට ඉදිරිපත් කර ඇති යෝජනාව වෙනුවට පූර්ණ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස මම මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි.”