කථානායකට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල්යයි - හේතුව මෙන්න
කථානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විපක්ෂය මඟින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්ව තිබුණා.
එහිදී අදාළ විවාදය ලබන 20වන අගහරුවාදා දිනයේ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය මඟින් යෝජනා කර තිබෙන අතර කථානායකවරයාට එරෙහි යෝජනාවේ කරුණු 50ක් සඳහන්ව ඇති බැවින් ඊට එක් දිනයක් ප්රමාණවත් නොවන බව විපක්ෂයේ නියෝජිතයින් පෙන්වාදී තිබෙනවා.
එසේ වුවත් ආණ්ඩු පක්ෂය විසින් එහිදී ප්රකාශ කර ඇත්තේ කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණුවල තාක්ෂණික ගැටළු කිහිපයක් පවතින බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසිය යුතු බවයි.
එබැවින් ඒ වෙනුවෙන් යම් කාලයක් ගත වන බැවින් විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඉදිරි පාර්ලිමේන්තු සතියේ විවාදයට ගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර ඇත්තේ නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන දින පිළිබඳ තීරණය වනු ඇති බවයි.