ඊශ්‍රායල් යන්න ඉන්න අයට ආපු හදිසි මැසේජ් එක - විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැඩි රතු එළියක්
ඊශ්‍රායලයේ රැකියා අවස්ථා අපේක්ෂා කරන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නාමය භාවිත කර සිදුකරන වංචනික කෙටි පණිවිඩ (SMS) ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කාර්යාංශය මහජනතාවට අනතුරු අඟවා තිබේ.
ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් ව්‍යාජ කෙටි පණිවිඩ යවා, ඒවා හරහා මුදල් මෙන්ම සංවේදී පෞද්ගලික හා මූල්‍ය තොරතුරු ලබාගැනීමට වංචනිකයින් උත්සාහ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එබැවින්, කාර්යාංශයේ නාමය භාවිත කරමින් විදේශ රැකියා හෝ මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන බවට සඳහන් කරමින් ලැබෙන සැක සහිත කෙටි පණිවිඩවල ඇති සබැඳි (links) මත ක්ලික් කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි
එමෙන්ම, නොදන්නා හෝ සැක සහිත මූලාශ්‍රවලින් ලැබෙන පණිවිඩ හරහා බැංකු ගිණුම් තොරතුරු, මුරපද හෝ වෙනත් පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසද කාර්යාංශය උපදෙස් ලබාදී ඇත.
එවැනි පණිවිඩ මගින් ලබාදෙන බැංකු ගිණුම් වෙත කිසිදු මුදලක් තැන්පත් කිරීමෙන් හෝ මාරු කිරීමෙන් වළකින ලෙසද විදේශ රැකියා අපේක්ෂකයින්ට දැනුම් දී තිබේ. විදේශ රැකියා සම්බන්ධයෙන් කිසියම් ගෙවීමක් සිදු කිරීමට පෙර, අදාළ බැංකු ගිණුම නිල වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සම්බන්ධ එකක්ද යන්න තහවුරු කරගන්නා ලෙසද කාර්යාංශය ඉල්ලා සිටී.
තවද, විදේශ රැකියා සඳහා ගෙවීම් සිදු කිරීමට හෝ අදාළ කටයුතු ඉදිරියට ගෙන යාමට පෙර, එම රැකියා සපයන විදේශ රැකියා නියෝජිතායතන නීත්‍යානුකූලව බලපත්‍රලාභී ආයතනද යන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය හි නිල වෙබ් අඩවිය හරහා තහවුරු කරගන්නා ලෙස විදේශ රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා තිබේ.
කිසියම් පණිවිඩයක හෝ රැකියා දීමනාවක සත්‍යතාව තහවුරු කරගැනීමකින් තොරව කිසිදු පියවරක් නොගන්නා ලෙසත්, වංචනික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට, විශේෂයෙන්ම ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂා කරන්නන්ට අවධාරණය කරයි.
වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඔස්සේ සම්බන්ධ වන ලෙසද කාර්යාංශය දැනුම් දෙයි.
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ සංඝ සභාවට විතරයි- කොටපිටියේ රාහුල හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්