ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක් - තායිලන්තය යන්න වීසා ඕන නැහැ - කැබිනට් මණ්ඩලයේ හදිසි අනුමැතිය
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර (Ordinary Passport) හිමි ශ්‍රී ලාංකික සහ තායි පුරවැසියන්ට පූර්ව වීසා බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව දෙරට අතර සංචාරය කිරීමට අවස්ථාව සැලසෙන වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
යෝජිත ගිවිසුම යටතේ, වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි දෙරටේ පුරවැසියන්ට සංචාරක කටයුතු සඳහා වීසා බලපත්‍රයකින් තොරව අදාළ රටට ඇතුළුවීමට, පිටවීමට සහ එරට හරහා සංක්‍රමණය වීමට අවසර හිමි වේ. ඒ අනුව, එක් සංචාරයකදී උපරිම දින 30ක කාලයක් රැඳී සිටීමට අවස්ථාව හිමිවන අතර, දින 180ක කාලසීමාවක් තුළ රැඳී සිටිය හැකි මුළු කාලය දින 90කට සීමා වේ.
කෙසේ වෙතත්, රැකියා, අධ්‍යාපන කටයුතු, මාධ්‍ය කටයුතු හෝ පූර්ව අනුමැතිය අවශ්‍ය වෙනත් කාර්යයන් සඳහා සංචාරය කරන පුද්ගලයන්ට මෙම වීසා නිදහස් කිරීමේ පහසුකම අදාළ නොවේ.
ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු පහසු කිරීම මෙන්ම දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණු වේ. වීසා නිදහස් කිරීමේ ගිවිසුම අත්සන් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබා දී තිබේ.