සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ දැනුම්දීමක්
දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ විවිධ අවශ්‍යතා වෙනුවෙන් ඒවා භාවිතා කිරීම අද (31) සිට සම්පූර්ණයෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිල වශයෙන් දැනුම් දෙයි.
රාජ්‍ය ආයතන පද්ධතිය තුළ දෛනිකව එකතු වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වඩාත් විධිමත් මෙන්ම පරිසර හිතකාමී ලෙස සිදු කිරීමේ මූලික අරමුණ ඇතිව, එම අමාත්‍යාංශය විසින් පසුගිය මැයි 15 වැනිදා විශේෂ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් ද නිකුත් කර තිබුණි.
මෙම සුවිශේෂී චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ද දැනටමත් යොමු කර ඇත. අදාළ චක්‍රලේඛයේ දැඩිව අවධාරණය කර ඇති පරිදි, මැයි මස 31 වන දින වන අද සිට ක්‍රියාත්මක වන පරිදි කිසිදු රාජ්‍ය ආයතනයකට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළ නොහැකි අතර ඒවා භාවිතය ද සපුරා තහනම් වේ.
මීට අමතරව, මෙලෙස වතුර බෝතල්වලට පමණක් සීමා නොවී පොදුවේ තනි භාවිත ප්ලාස්ටික්වලින් නිපදවන ලද වෙනත් ද්‍රව්‍යයන් ද ආයතන පරිශ්‍රයන් තුළ භාවිතා කිරීම වැළැක්වීම සඳහා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි සහ අවශ්‍ය පරිපාලනමය ක්‍රියාමාර්ග ගත යුතු බව ද එහි සඳහන් වේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම නවතම නියෝගයන්ට අමතරව පසුගිය වසරේ අප්‍රේල් මස 02 වැනි දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් විධිවිධාන හා නීතිරීති ද ඒ අයුරින්ම තවදුරටත් බලාත්මක වන බවයි.
ඒ අනුව ඉදිරියේදී සියලුම රාජ්‍ය ආයතන ලෝක පිළිගත් “ත්‍රී ආර්“සංකල්පයට අනුගත විය යුතු අතර, ඒ යටතේ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම , නැවත භාවිතය සහ විධිමත්ව ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව ඇත. මෙම පරිසර හිතකාමී සමස්ත වැඩපිළිවෙළ සහ චක්‍රලේඛය පරිසර අමාත්‍යාංශයේ පූර්ණ එකඟතාවය සහ අනුමැතිය ඇතිව නිකුත් කර තිබීම ද විශේෂත්වයකි.