පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන මස 04 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
සැකකරු අද (24) ඔන්ලයින් (Online) ක්‍රමවේදය ඔස්සේ මඩකලපුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මඩකලපුව මහේස්ත්‍රාත් විනිසුරු ඒ. තර්ෂිනී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකරු ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
ඒ අනුව කල්ලඩි හි සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් ගොනුකර ඇති චෝදනා තුනක් සහ මෙම නඩුවට අදාළ තවත් එක් චෝදනාවක් පිළිබඳ අධිකරණ විභාගය අද පැවැත්වුණු අතර, එහිදී කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නාය.
මම වෛද්‍යවරයෙක් මට ජීවත් වෙන්න පුලුවන් මන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා - මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක් ප්‍රකාශයක්
මෙම සැකකරුට එරෙහිව 2008 වසරේ මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේ මැයි 22 වන දින පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ අගෝස්තු 20 වන දින වවුනියාව ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් ලවා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරවීම යන චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු ගොනු කර ඇත.