සාමය පැතිරුවාට අත්අඩංගුවට අරන්....
"යෙහෝවා සාක්ෂිකරුවන්" නමැති ආගමික නිකායේ ආගමික ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී "කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව" එහි අනුගාමිකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම තුළින් වලස්මුල්ල පොලිසිය ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි අද (මැයි 22 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
ඒ අනුව, එක් එක් පෙත්සම්කරුට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙස එවකට වලස්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එස්.ජේ.බී. සුවාරිස්ට අධිකරණය විසින් නියෝග කරනු ලැබී ය.
ඊට අමතරව, රජය ඔවුන්ට රුපියල් 25,000 බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ, යෙහෝවා සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානයේ සාමාජිකයන් වන කල්‍යාණි ද සිල්වා, මාලා මල්කාන්ති, නිරූපා ඇන්තනි සහ අමා ලියනගේ යන පිරිස ගොනු කර තිබූ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
