ශිරන්තිගේ නඩුවේ හදිසි හැරවීමක්.. හෘද සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද යන්න වහාම පරීක්ෂා කර දැනුම්දෙන්නයි නියෝගයක්
'සිරිලිය සවිය' ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද (13) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා ඇත.
එම අවස්ථාවේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියව අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු කර නොමැති බව සඳහන්.
ඒ අනුව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දැනුම් දී ඇත්තේ ඇයව ඊයේ (12) දින බන්ධනාගාරයේ සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වීම නිසාවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් අංශයට ඇතුළත් කළ බවයි.
එසේම ඇයව මේ වනවිට විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් පවතින බවත් යන්න ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට කරුණු දැක්වූ බව සඳහන්.
එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට සඳහන් කළේ, සැකකාරිය ඊයේ දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව සැබෑවක් වුවත් ඇයව සැත්කමකට භාජනය කිරීමට අදාළව කිසිදු තොරතුරක් බන්ධනාගාර නිලධාරීන්ට වාර්තා වී නොමැති බවයි.
එබැවින් විවෘත අධිකරණය හමුවේ දී බන්ධනාගාර නිලධාරීන් ඇමතූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද දිනයේ දී ශිරන්ති රාජපක්ෂ විවෘත හදවත් සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද? යන කරුණු තමන්ට වහාම පරීක්ෂා කර දැනුම්දෙන ලෙසට බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දී ඇති බව සඳහන්.
එමෙන්ම එම වාර්තාව ලැබෙන තුරු නඩුව අද පස්වරු 2 දක්වා කල්තබා ඇත.