අම්මයි පුතයි දෙන්නම අද අධිකරණයට - රටම බලා සිටි ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු දෙකම අද කැඳවයි
අද (13) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩු දෙකක් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ශිරන්ති රාජපක්ෂට එරෙහිව සිරිලිය සවිය සංවිධානය ඔස්සේ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන බවට සඳහන් කර ඒ සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන එම යන්ත්‍රය ලබානොදීම තුළින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ආකාරයට පරිහරණය කිරීමෙන් දූෂණය නමැති වරද සිදු කිරීම හා පොදු දේපළ පනත යටතේ වන වැරදි කිරීම යන චෝදනා මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත.
එම සිද්ධියට අදාළව ඉකුත් 7 වැනි දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව මඟින් ඇයව කිරුළපන ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව ඇයව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළා.
එසේම ඊයේ පස්වරුවේ ඇයව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කෙරුණ අතර බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත ඇයව එම ඒකකය වෙත යොමු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න සඳහන් කර තිබුණා.
එසේම ඊයේ උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද තවදුරටත් එහි ප්‍රතිකාර ලබන බව සඳහන්.
එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළව එයාර් බස් ගනුදෙනුවේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 100ක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව අද(13) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත ඇත.
ඉකුත් 29 වැනිදා මෙම නඩුව අවසන් වරට කැඳවූ අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළා.