කළු ගඟේ සැඩ පහරට හසුවූ සස්මිත සොයා මෙහෙයුම් තවදුරටත්
හොරණ, නාරගල පාලම ආසන්නයේ කළු ගඟේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකු අතරින් දියේ ගිලී අතුරුදන් වූ 19 හැවිරිදි තරුණයා සොයා මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක වේ.
පොලීසිය සඳහන් කළේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ යාල ප්රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි චිරාත් සස්මිත නමැති තරුණයෙකු බවයි. ඊයේ (31) සවස 7.30ට පමණ තරුණයන් තිදෙනා කළු ගඟේ දිය නෑම සඳහා නාරගල පාලම ආසන්නයට පැමිණ තිබේ.
එහිදී එක් තරුණයෙකු ගඟට බැස පිහිනීමට උත්සාහ කිරීමේදී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ඔහු බේරා ගැනීම සඳහා තවත් තරුණයෙකු ද ගඟට පැන තිබේ. කෙසේ වෙතත්, ඔහු ද සැඩ පහරට හසුව ඇති අතර දැඩි පරිශ්රමයකින් පසුව ගොඩට පැමිණීමට සමත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර ඇත. කළු ගඟේ සැඩ පහර අධික ප්රදේශයක් වන මෙම ස්ථානයේ අද (01) උදෑසන සිට පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවා අතුරුදන් වූ තරුණයා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර, ප්රදේශයේ කිඹුලන් ගැවසෙන බැවින් රාත්රියේ ගං ඉවුරේ ගිනි මැල දල්වා ආරක්ෂාව සලසා ගැනීමට ප්රදේශවාසීන් සහ අතුරුදන් වූ තරුණයාගේ මිතුරන් කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.