සමාජ මාධ්‍ය හොල්ලපු සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ ගුරු රථය ගිනි ගැනීමේ සිද්ධිය - දරුවාට බලපෑම් කළාද ආදි ශිෂ්‍ය සංගමය කට අරියි
සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ ගුරුවරයෙකුට අයත් මෝටර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන තොරතුරු පිළිබඳ පැහැදිලි කිරීමක් නිකුත් කරමින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පවසන්නේ, සිද්ධියට සම්බන්ධ බවට සඳහන් වන දරුවාට එරෙහිව පාසල් පරිපාලනය හෝ ශ්‍රී ලංකා පොලිසිය කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති බවත්, ඔහු වරදකරුවෙකු ලෙස සලකා නොමැති බවත්ය.
සංගමය නිවේදනයක් මඟින් සඳහන් කරන්නේ, දරුවාට බලපෑම් සිදු කළ බවට හෝ ඔහුට පීඩනයක් එල්ල කළ බවට සමාජ මාධ්‍යවල පළවන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ දරුවාගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ආරක්ෂා වන අයුරින් බවද එහි දැක්වේ.
මෙම සිද්ධිය පසුගිය ජූලි 3 වැනිදා පස්වරු 2.55ට පමණ පාසල් පරිශ්‍රය තුළ ගුරුවරයෙකුගේ මෝටර් රථයක් ගිනි ගැනීමත් සමඟ අනාවරණය වී තිබේ. ප
සුව නිරීක්ෂණ කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමේදී කුඩා දරුවෙකු වාහනය ආසන්නයේ ගමන් කරමින් ගිනිපෙට්ටියක් ඉවත දමන ආකාරය දක්නට ලැබුණු බව සංගමය සඳහන් කරයි.
ගුරුවරයා රක්ෂණ කටයුතු සඳහා කුරුණෑගල මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී CCTV දර්ශන සහ ඡායාරූප පමණක් භාරදී ඇති අතර, කිසිදු අවස්ථාවක දරුවාගේ නම සඳහන් කර නොමැති බවද ප්‍රකාශයේ දැක්වේ. එමෙන්ම දරුවාට හෝ ඔහුගේ දෙමාපියන්ට ගුරුවරයා විසින් කිසිදු ආකාරයක බලපෑමක් එල්ල කර නොමැති බවද සංගමය අවධාරණය කරයි.
ජූලි 4 වැනිදා දරුවා සහ ඔහුගේ දෙමාපියන් විදුහල්පතිවරයා සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඉදිරියේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡාවකට කැඳවා ඇති අතර, එහිදී දරුවා ගිනිකූරු කිහිපයක් දැල්වූ බවත්, ඉන් එකක් මෝටර් රථයේ බම්පරය දෙසට විසි කළ බවත් පිළිගත් බව සංගමය සඳහන් කරයි.
දෙමාපියන් ද එම සිදුවීම තහවුරු කළ අතර, සිදුවූ හානිය සඳහා වන්දි ගෙවීමට පියා එකඟතාව පළ කළ බවද එහි සඳහන් වේ.
අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) විසින් ස්ථානීය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව වාහනය අලුත්වැඩියා කිරීම සඳහා රැගෙන යාමට අවසර ලබාදී තිබේ. කෙසේ වෙතත්, රක්ෂණ ක්‍රියාවලිය සහ අමතර කොටස් ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් වාහනය තවමත් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර නොමැති බවද සංගමය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ දරුවා සාමාන්‍ය පරිදි පාසල් අධ්‍යාපනය හදාරමින් සිටින බවත්, ඔහුගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පාසල පියවර ගෙන ඇති බවත් සංගමය අවධාරණය කරයි.
එමෙන්ම, සත්‍ය තොරතුරුවලට පටහැනි ලෙස CCTV දර්ශන සහ විවිධ වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරමින් පාසලේ කීර්තිනාමයට හානි සිදු කිරීමට උත්සාහ කරන පළ කිරීම් දැඩි ලෙස හෙළා දකින බවද සඳහන් කරයි. නිවේදනයේ තවත් කරුණක් ලෙස දැක්වෙන්නේ, සිද්ධියට සම්බන්ධ දරුවාගේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල සහෝදරයාට පෙර කිසිදු අවස්ථාවක ගුරුවරයා විසින් දඬුවම් කර හෝ බැණ වැදී නොමැති බවත්, එය දෙමාපියන් විසින්ද තහවුරු කර ඇති බවත්ය.
අදාළ ගුරුවරයා පස්වැනි ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ගුරුවරයෙකු බවත්, මෙම සිද්ධිය තිබියදීත් සිය රාජකාරි අඛණ්ඩව ඉටු කරමින් අමතර පන්ති සහ මාර්ගගත ඉගැන්වීම් පවා පවත්වාගෙන යන බවත් ආදි ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
එමෙන්ම, පාසල අවසන් වූ පසු පැය තුනකට අධික කාලයක් කුඩා දරුවෙකු පාසල් පරිශ්‍රයේ රැඳී සිටීම සම්බන්ධයෙන් දෙමාපියන්ගේ වගකීමද සංගමය අවධාරණය කර ඇත. ජූලි 3 වැනිදා පාසල දහවල් 1.00ට අවසන් වුවද, අදාළ දරුවා පස්වරු 4.00 පමණ වනතුරු පාසල් භූමියේ රැඳී සිට ඇති බව සඳහන් කරමින්, එවැනි වයස්ගත දරුවන් පාසලෙන් නික්මුණු වහාම නිවසට රැගෙන යාම දෙමාපියන්ගේ වගකීම බව සංගමය පෙන්වා දෙයි.
මෙම සිද්ධිය දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, කුඩා දරුවන්ගේ අධීක්ෂණය සහ ඔවුන්ගේ ජංගම දුරකථන භාවිතය පිළිබඳවද දෙමාපියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් ආදි ශිෂ්‍ය සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

