වැඩි කරපු 18% විදුලි බිල ගැන විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රජය විසින් විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය බාල ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ කරපිට පැටවීමක් බව කියයි.
ඒ අනුව විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂනායකවරයා පවසන්නේ මෙම ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින් පිට පැටවීම සිදු නොකරන ලෙසට ඉල්ලා සිටියද මහජන උපයෝගීතා කොමිසම සහ රජය 18%කින් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කර ඇති බවයි.
එසේම මෙම විදුලි බිල වැඩි කිරීම ව්‍යාපාරිකයින් සහ කර්මාන්තකරුවන්ගෙන් රජය විසින් ගනු ලැබූ කප්පමක් බවටද චෝදනා කරමින් ඔහු ප්‍රකාශ කරන්නේ ඒකක 180ට වැඩි විදුලි ඒකක සඳහා මෙම නව විදුලි ගාස්තු අය කිරීම නිසා ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් දැඩි පීඩාවකට පත්ව තිබෙන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ,
"සරළව කතා කළොත් ඉහළ මධ්‍යම පන්තියත්, ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවත්, කර්මාන්තකරුවනුත්, ව්‍යවසායකයනුත් අද මේ විදුලි බිල වැඩිවීමට ලක්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ 18% විදුලි බිල වැඩිවීම අපි දකින්නේ රජය ගත්තු කප්පමක් හැටියට. 18%කින් විදුලි බිල වැඩිකරලා රජය කප්පම් ගන්නේ රටේ ඉහළ මධ්‍යම පන්තියෙන්, කර්මාන්තකරුවන්ගෙන්, ව්‍යවසායකයින්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන්. කුමක් සඳහාද ? බාල ගල්අඟුරු ව්‍යාපෘතියේ ඒ අලාභය මගහරවාගන්න. බාල ගල්අඟුරු ගේනවායි කියලා මුළ ඉඳලාම කිව්වා. මුල ඉඳලාම රජය කිව්වා එහෙම දෙයක් නෑ කියලා. ඊට පස්සේ කියනවා ගල්අඟුරු නම් බාලයි හැබැයි වංචාවක් දූෂණයක් නෑ කියලා. අපි පැහැදිව කියනවා බාල ගල්අඟුරු ගෙන්වීම තුළ, ඉන්ධන විදුලි ජනනය වෙත යොමුවන්නට රජයට සිදුවුණා. ඒකෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය වැඩිවුණා. ඒ නිසාම මේ පිරිවැය වැඩිවීමත් බාල ගල්අඟුරු වංචාවේ වන්දිය ගෙවන්නත් අද සිදුවෙලා තිබෙන්නේ ඒකක 180ට වැඩියෙන් පරිභෝජනය කරන අපේ රටේ ඉහළ මධ්‍යම පන්තියටත්, ව්‍යාපාරිකයින්ටත්, කර්මාන්තකරුවන්ටත්. අපේ රටේ ආර්ථිකයට සුවිසාල දායකත්වයක් ලබා දෙන 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් සිද්ධ වෙනවා මේ දූෂිත ගල්අඟුරු ජාවාරමේ වන්දිය ගෙවන්න."