ආණ්ඩුව ගොවියා රජ කරනවා කියා ගොවියා විනාශ කරා - සජිත් ප්‍රේමදාස
වත්මන් රජය ගොවි ජනතාව රජ කරවන බවට දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඒ වෙනුවට ගොවියාගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට සලස්වා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (2026 මැයි 13) ආනමඩුව, ඉගිනිමිටිය ප්‍රදේශයේ පැවැති ගොවිජන හමුවකදී ඔහු ප්‍රකාශ කළේ වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට ගොවියාට රුපියල් 130-135ක වියදමක් වැය වුවද, කෘෂිකර්ම අමාත්‍යවරයා එය රුපියල් 90-95ක් ලෙස පවසමින් සත්‍යය යටපත් කරන බවයි.
මැතිවරණ සමයේ පොරොන්දු වූ රුපියල් 150 සහතික මිල හෝ දැනට නියම කර ඇති රුපියල් 120 මිලදී ගැනීමේ මිල පවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත්, රට පුරා පවතින බිත්තර වී සහ පොහොර හිඟය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන විට අමාත්‍යවරයා එවැනි ගැටලුවක් නොමැති බව පවසමින් ගොවීන් මුලාවට පත් කරන බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි හමුවේ අසරණ වී ගොවිතැන නවීකරණය කරනවා වෙනුවට එය විනාශ කරමින් සිටින බව පැවසූ ප්‍රේමදාස මහතා, සමගි ජන බලවේගය යටතේ ගොවීන් වෙනුවෙන් නව "සමාජ ගිවිසුමක් සහ ප්‍රඥප්තියක්" හඳුන්වා දෙන බව ප්‍රතිඥා දුන්නේය.
වන අලි ගැටලුව, කෘෂි රසායන මිල ඉහළ යාම සහ ඉන්ධන පිරිවැය හමුවේ අසරණ වී සිටින ගොවියාට ස්ථාවර සහතික මිලක් සහ නවීන තාක්ෂණය ලබා දීම සිය අනාගත රජයක ප්‍රමුඛතාව වනු ඇති බව ඔහු අවධාරණය කළ අතර, ගොවි ගැටලු සොයා බැලීමට ගොවිබිමට පැමිණෙන ලෙස අමාත්‍යවරුන්ට අභියෝගයක් ද එල්ල කළේය.