තැපැල් කන්තෝරුවෙත් ලක්ෂ ගාණක මුදල් හොරකම් කරලා - සොරුන් සොයා විශාල මෙහෙයුමක්
මොරගහහේන උපතැපැල් කාර්යාලයට කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් හොර රහසේ ඇතුළුවී එහි තිබූ ප්‍රධාන සේප්පුව බිඳ රුපියල් 474000 ක මුදලක් සොරාගෙන ඇති බව ප්‍රදේශයේ පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.
සොරකම් කරන ලද එම සියලුම මුදල් ප්‍රදේශයේ අසරණ ලාභීන් වෙනුවෙන් රජයෙන් ලබාදෙන මාසික වැඩිහිටි දීමනා ගෙවීම සඳහා විශේෂයෙන් රැගෙන එන ලද ඒවා බවටයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණවී තිබෙන්නේ.
අදාළ මහා පරිමාණ සොරකම පෙරේදා 19 වැනිදා රාත්‍රී කාලයේදී සිදුව ඇති අතර ඊයේ 20 වැනිදා පෙරවරුවේ සුපුරුදු පරිදි රාජකාරි කටයුතු සඳහා තැපැල් ස්ථානාධිපතිවරයා කාර්යාලයට පැමිණ තිබේ.
එහිදී සිය කාර්යාලයේ ප්‍රධාන දොරඅඟුල බලහත්කාරයෙන් කඩා දමා ඇති බවට මැනවින් නිරීක්ෂණයවීමත් සමඟ ඔහු මේ පිළිබඳව මොරගහහේන පොලිස් ස්ථානයට නිල පැමිණිල්ලක් කිරීමට වහාම පියවර ගත්තේය.
ඒ අනුව අදාළ ස්ථානය වෙත පැමිණි මොරගහහේන පොලිස් ස්ථානයේ විශේෂ නිලධාරින් කණ්ඩායමක් ක්ෂේත්‍ර විමර්ශනයක් ආරම්භ කළහ.
එහිදී අනාවරණ වූයේ මොරගහහේන නගරයේ පොදු බස් නැවතුම්පොළට ඉහළින් ඇති කැලෑබද භූමියක තරමක් හුදකලාව පිහිටා ඇති මෙම උපතැපැල් කාර්යාල ගොඩනැගිල්ලට රාත්‍රී අඳුරේ ඇතුළු වූ කිසියම් සොරෙකු විසින් එහි ආරක්ෂිත සේප්පුව බිඳ අදාළ සම්පූර්ණ මුදල රැගෙන පළා ගොස් ඇති බවය.
මෙම අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් පුළුල් සහ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.