අ.පො.ස. උසස් පෙළ විභාගය කල් යනවද? අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට අති විශේෂ නිවේදනයක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2026 අගෝස්තු මස 10 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශව මගින් ඉල්ලීම් කරන බවයි.
නමුත් 2026 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ඇති බැවින් අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව වනුයේ 300ක් බවයි.
එමෙන්ම 2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු 07 දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙවන සහ තෙවන වර පෙනී සිටින සිසුන් සඳහා පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා පරතරය මාස 4ක් සහ දින 10 ක් බවත් අදාළ නිවේදනය මගින් පවසයි.
ඒ අනුව 2026 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බැවින්, අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොඟින බවද අදාළ නිවේදනය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.