විශේෂ දැනුම් දීමක් - පෙබරවාරි 04 සිට 11 දක්වා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 වනදා සිට 11 වන දින දක්වා දින 07ක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බවට දැනුම් දෙයි.
ඒ අනුව එහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ උපන් ගම් ප්‍රදේශයවන ගුජරාට් ප්‍රදේශයේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිට වැඩම කර නොමැත.
එහෙත් ඉකුත් දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකාවේ ජනතාවට උදාකර දී ඇත.
ඒ අනුව පෙබරවාරි 04 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමට නියමිතයි. එදින සිට හුණුපිටිය ගංගාරාම විහාස්ථානයේදී සාමාන්‍ය ජනතාවට ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව විවෘත වන බව සඳහන්.
මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පෙබරවාරි 04 වනදා ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන මෙහොතේ සිට යළි ඉන්දියාවට වැඩම කරවීම දක්වා වූ කාල පරිච්ඡේදය තුළ අවශ්‍ය පහසුම් සැලසීම සහ එහිදී එක් එක් ආයතන වෙත පැවරි ඇති කාර්යයන් සහ ඊට අදාළ සැලසුම් පිළිබඳයි.
එමෙන්ම එහිදී අදහස් දැක්වු ගංගාරම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ ශ්‍රී සර්වඥධාතු වන්දනාව සඳහා කොළඹට ඇදී එන අතිවිශාල ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි.
එමෙන්ම ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සඳහා ගංගාරම විහාරස්ථානය සුදානම් කර ඇති ආකාරය පිළිබඳව ද උන්වහන්සේ මෙහිදී අදහස් දැක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ ඇතුළත්.
මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ මෙය ශ්‍රී ලංකාවාසී ජනතාවට හිමි වු ඓතිහාසික අවස්ථාවක් මෙන්ම රට තුළ බෞද්ධ පුනරුදයක් ඇති කිරීමෙහිලා වූ වැඩපිළිවෙළහි සුවිශේෂී අවස්ථාවක් බවයි.
මෙම අවස්ථාව සඳහා ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීහුද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීහුද, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ මේ සඳහා අනුග්‍රහය දක්වන පෞද්ගලික ආයතනවල නියෝජිතයින් ද සහභාගී විය.