"ක්‍රිකට් දෙවියන්" ලෙස හදුන්වන සචින්ගේ වටිනාකම තවත් ඉහළට - ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියත් වටිනාකම අඩුවෙලා නැහැ
ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකෙන සචින් තෙන්ඩුල්කර්, විශ්‍රාම ගොස් වසර ගණනාවක් ගතව තිබියදීත් ඉන්දියාවේ බලවත්ම සෙලිබ්‍රිටි සන්නාම අතර තවමත් ඉහළ ස්ථානයක රැඳී සිටී.
2025 වසර සඳහා නිකුත් කළ Kroll India Celebrity Brand Valuation වාර්තාවට අනුව, සචින් තෙන්ඩුල්කර්ගේ සන්නාම වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 125.9ක් (ඉන්දීය රුපියල් කෝටි 1,189ක්) ලෙස ගණනය කර තිබේ.
ඒ අනුව ඔහු ඉන්දියාවේ ඉහළම සෙලිබ්‍රිටි සන්නාම පහ අතරට ද ඇතුළත් වේ. විශ්‍රාමික ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාවේ ඉහළම සන්නාම 10 අතර අඛණ්ඩව රැඳී සිටින එකම ක්‍රීඩකයාද සචින් තෙන්ඩුල්කර්ය.
ඔහුගේ විශ්වාසනීයත්වය, ජනප්‍රියත්වය සහ සමාජ පිළිගැනීම හේතුවෙන් විවිධ ක්ෂේත්‍රවල සන්නාම සඳහා තවමත් ඔහු ප්‍රමුඛ තේරීමක් බව වාර්තාව සඳහන් කරයි. සිය ක්‍රීඩා දිවියේදී ලොව මෙතෙක් බිහි වූ සම්පූර්ණතම පිතිකරුවන් අතරින් අයෙකු ලෙස සැලකෙන තෙන්ඩුල්කර්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙසද ඉතිහාසගත වී ඇත.
ඔහු ටෙස්ට් සහ එක්දින තරග දෙකේම වැඩිම ශතක සංඛ්‍යාව වාර්තා කර ඇති අතර, ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු 34,357ක් රැස් කරමින් තවමත් එම වාර්තාව හිමිව සිටී. ටෙස්ට් තරග 200කට ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා වන සචින්, එහිදී ලකුණු 15,921ක්, ශතක 51ක් සහ හතරේ පහර 2,058ක් වාර්තා කරමින් රතු පන්දුවේ ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන ඇත.
"ක්‍රිකට් දෙවියන්" ලෙස ආදරයෙන් හඳුන්වන සචින්, ඉනිම් 300ක් තුළ ටෙස්ට් ලකුණු 15,000 සීමාවට ළඟා වූ වේගවත්ම ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක්වී ඇත.
වසර 22යි දින 91ක් පුරා පැවති ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියද ඉතිහාසගත වන අතර, 1998 වසරේදී පමණක් ලකුණු 1,894ක් සහ ශතක 9ක් රැස් කරමින් එක් දින දර්ශන වසරක වැඩිම ලකුණු සහ ශතක වාර්තාවද තවමත් ඔහු සතුය.
එක්දින ක්‍රිකට් පිටියේ අර්ධ ශතක 145ක් වාර්තා කළ සචින්, හතරේ පහර 2,016ක් එල්ල කළ ක්‍රීඩකයාද වේ. එමෙන්ම ඉනිම් 440ක් තුළ එක්දින ලකුණු 18,000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙසද ඔහුගේ නාමය ක්‍රිකට් ඉතිහාසයේ සටහන් වී තිබේ.