රාජ්‍ය සේවය සඳහා නවක නිලධාරීන්ට පත්වීම් - පැවැත්වූ විභාග වල ප්‍රතිපල මත පත්වීම්
සබරගමුව පළාත් රාජ්‍ය සේවය සඳහා බඳවාගනු ලැබූ නවක නිලධාරීන් 09 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (17) රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පවත්වන ලද විභාගය යටතේ මෙහිදී පළාත් රාජ්‍ය සේවය සඳහා සමාජ සේවා නිලධාරීන් එක් අයෙකු, සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් හය දෙනෙකු සහ තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (පුහුණු) දෙදෙනෙකු මෙහිදී පත්වීම් ලබා ඇත.
මෙම පත්වීම් ප්‍රදානෝත්සවය සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී හා ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් පුෂ්පකුමාර දිසානායක, ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් සුජීවා බෝධිමාන්න, පළාත් කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් දර්ශන සමරසේකර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(ඉංජිනේරු) කේ.පී. පුෂ්පකුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.