රුසියාවෙන් වාර්තාගත තෙල් සැපයුමක්.. මිල ගණන් අඩුවීමේ වාසිය ඉන්දියාවට..

India Russian Federation Fuel Price In World
By Aruna Mar 28, 2023 11:17 PM GMT
Aruna

Aruna

Report

පසුගිය වසරේදී ඉන්දියාව වෙත සිදුකළ බොරතෙල් අලෙවිය විසි ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රුසියාව පවසනවා.

එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් පැවසුවේ යුරෝපානු ගැනුම්කරුවන් වෙනත් වෙළඳපොලවල් කරා යොමුවීම හේතුවෙන් එලෙස ඉන්දියාව වෙත සිදු කරන බොරතෙල් සැපයුම ඉහළ නැංවූ බවයි.

ඉන්දියාවට අමතරව චීනයට ද රුසියාවෙන් සිදුකරන තෙල් සැපසුම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව බටහිර හා යුරෝපානු රටවල් රුසියාවේ තෙල් සඳහා සීමා පැනවූවා.

එහෙත් ඉන්දියාව එම පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් රුසියාව ඉන්දියාව වෙත සිදු කරන තෙල් සැපයුම ඉහළ නැංවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම රුසියාව ඉන්දියාව වෙත තෙල් සපයනු ලබන්නේ විශේෂ වට්ටම් යටතේ අඩු මිලකට බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ හමුවේ ඉරාකය හා සෞදි අරාබිය අභිභවා ඉන්දියාවේ ප්‍රධාන තෙල් සැපයුම්කරු බවට පත්ව ඇත්තේ රුසියාවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඉකුත් පෙබරවාරි මාසය වනවිට ඉන්දියාවේ බොරතෙල් ආනයනයෙන් සියයට 40 ක ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ රුසියාවෙන්.

එමෙන්ම මේවනවිට ඉන්දියාව දිනකට රුසියාවෙන් ආනයනය කරන බොරතෙල් බැරල් ප්‍රමාණය මිලියන 1 යි දශම 6 ක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.



සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now