රුමේෂ් තරංගට ජර්මනියේ වෙබර්ගෙන් අලුත් අභියෝගයක් – හෙල්ල පිටියේ සුපිරි සටනක් ළඟම
2026 යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත් විය. වෙබර් එහිදී මීටර් 90.40ක දුරක් වාර්තා කරමින් නව ශූරතාවලි වාර්තාවක් පිහිටුවීම විශේෂත්වයකි.
යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වකදී මීටර් 90 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ මහා බ්‍රිතාන්‍යයේ ස්ටීව් බැක්ලි වන අතර, ඔහු 1998 වසරේදී මීටර් 89.72ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගෙන තිබිණි.
ඒ අනුව වෙබර් විසින් වසර 28ක් පැරණි එම වාර්තාව බිඳ දැමීමට සමත් විය. වෙබර්ගේ මීටර් 90.40ක දක්ෂතාවය මේ වසරේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් වාර්තා වූ දෙවැනි හොඳම දක්ෂතාවය ද වේ.
මෙවර ඔහුට ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පමණක් වන අතර, ඔහු මීටර් 92.62ක විශිෂ්ට දක්ෂතාවක් වාර්තා කර තිබේ. ඒ අනුව ඉදිරි තරගවලදී ජුලියන් වෙබර් සහ රුමේෂ් තරංග අතර තියුණු තරගයක් දැකගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.