සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ජනාධිපතිගෙන් දැවැන්ත සහනයක් - RE-MSME PLUS ණය ක්‍රමයට තවත් බිලියන 7.5ක්
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (MSMEs) වෙත මූල්‍ය සහාය අඛණ්ඩව ලබාදීමේ අරමුණින්, RE-MSME PLUS ණය යෝජනා ක්‍රමය සඳහා තවත් රුපියල් බිලියන 7.5ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට රජය අනුමැතිය ලබාදී තිබේ.
මෙම යෝජනා ක්‍රමය යටතේ මුලින් වෙන්කර තිබූ රුපියල් බිලියන 30ක මුදල අදාළ මූල්‍ය ආයතන විසින් සම්පූර්ණයෙන්ම භාවිත කර අවසන් වීමත් සමඟ, අතිරේක ප්‍රතිපාදන ලබාදීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත
අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය යළි නඟාසිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ණය වැඩසටහන් කිහිපයක් සමඟ පැවති RE-MSME ණය යෝජනා ක්‍රමය ඒකාබද්ධ කරමින් RE-MSME PLUS ණය යෝජනා ක්‍රමය මේ වසරේදී හඳුන්වා දී තිබේ.
2026 අගෝස්තු මාසය අවසන් වන විට, 'දිත්වහ' (Ditwah) ආපදාවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 4.27ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදී තිබූ අතර, අනෙකුත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙනුවෙන් රුපියල් බිලියන 25.92ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති සඳහා ද අනුමැතිය හිමිව තිබිණි.
ඒ අනුව, මුලින් වෙන්කර තිබූ රුපියල් බිලියන 30ක සමස්ත ප්රතිපාදනයම අදාළ මූල්‍ය ආයතන විසින් භාවිත කර අවසන් කර ඇති බව රජය සඳහන් කරයි.
කෙසේ වෙතත්, අභ්‍යන්තර ඇගයීම් අවසන් කර ණය අනුමැතිය ලබාගෙන තිබුණ ද, අරමුදල් නිකුත් කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපෘති වෙනුවෙන් තවත් රුපියල් බිලියන 7.5ක පමණ මුදලක් අවශ්‍ය බව මූල්‍ය ආයතන විසින් දැනුම් දී තිබේ.
මෙම අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, RE-MSME PLUS ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාදීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අතිරේක රුපියල් බිලියන 7.5ක ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.