රොනාල්ඩෝගේ පාපන්දු ලෝක කුසලාන සිහිනය කඳුළකින් අවසන් වෙයි

Report

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ජාත්‍යන්තර පාපන්දු දිවිය අවසන් වී තිබේ. ඒ, 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේදී ස්පාඤ්ඤය හමුවේ ගෝල 1-0ක පරාජයක් ලැබීමත් සමඟය.

ඒ අනුව, පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් අතරින් එක් අයෙකු වන රොනාල්ඩෝගේ ලෝක කුසලාන ගමන, ශූරතාවක් දිනා නොගෙනම අවසන් විය. ඩලස් නුවර පැවති මෙම තරගයේ ජයග්‍රාහී ගෝලය අතිරේක කාලයේදී මිකෙල් මෙරිනෝ විසින් වාර්තා කළ අතර, තරගය අවසන් වූ වහාම රොනාල්ඩෝ දැඩි සංවේදීව කඳුළු සලන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝක පූජිත බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවත් කරමින් නෝර්වේ නේමාර්ගේ අවසන් සිහිනයද බොඳ කරයි

ලෝක පූජිත බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවත් කරමින් නෝර්වේ නේමාර්ගේ අවසන් සිහිනයද බොඳ කරයි

මේ වන විට 41 වැනි වියේ පසුවන රොනාල්ඩෝ සිය වෘත්තීය දිවියේදී බැලන් ඩෝර් සම්මාන 5ක්, UEFA චැම්පියන්ස් ලීග් ශූරතා 5ක් සහ 2016 යුරෝ කුසලානය දිනාගෙන තිබේ. එමෙන්ම වෘත්තීය දිවියේ ගෝල 976ක් රැස් කරමින් ලෝක පාපන්දු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක්ද සනිටුහන් කර ඇත.

ලෝක කුසලාන තරගාවලි හයකදී (2006, 2010, 2014, 2018, 2022 සහ 2026) ගෝල වාර්තා කළ එකම ක්‍රීඩකයා ලෙසද රොනාල්ඩෝ ඉතිහාසයට එක්වෙයි. කෙසේ වෙතත්, ලෝක කුසලානයකදී ඔහුගේ හොඳම දක්ෂතාව වූයේ 2006 වසරේදී පෘතුගාලය අර්ධ අවසන් පූර්ව වටය දක්වා රැගෙන යෑමයි. තවද, ක්‍රීඩා දිවිය නිමා කිරීමට පෙර ගෝල 1,000 සීමාව පසු කිරීම තම ඉලක්කය බවද ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මෙවර ලෝක කුසලානය තම අවසන් ලෝක කුසලාන තරගාවලිය බව රොනාල්ඩෝ මීට පෙර නිල වශයෙන් දැනුම් දී තිබූ අතර, විශ්‍රාම ගැනීමෙන් පසු තම පවුලේ සාමාජිකයන් සහ දරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබුණි.

මේ අතර, රොනාල්ඩෝ සෑම තරගයකම ආරම්භක ක්‍රීඩකයෙකු ලෙස යොදා ගැනීම පෘතුගාලයේ පරාජයට බලපෑවාද යන්න පිළිබඳව පාපන්දු විචාරකයන් අතර විවිධ අදහස් මතුවී තිබේ. පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාර්ටිනෙස්ගේ තීරණ දැඩි විවේචනයට ලක් කරමින් ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ, වයස්ගත රොනාල්ඩෝ කේන්ද්‍ර කරගෙන කණ්ඩායම් තේරීම් සහ උපාය මාර්ග සකස් කිරීම හේතුවෙන් පෘතුගාලයට තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූ බවයි.

තරගය අවසන් වීමත් සමඟ කඳුළු පිරි දෑසින් ක්‍රීඩාංගණයෙන් පිටව යමින් ක්‍රීඩාලෝලීන්ට අත වනමින් සමුදුන් රොනාල්ඩෝගේ එම අවස්ථාව ලොව පුරා පාපන්දු රසිකයන්ගේ සංවේදී අවධානයට ලක්විය.        

පෘතුගාල‍ය රොනාල්ඩෝ සුරක්ෂිතව අවසන් 16ට රැගෙන යයි

පෘතුගාල‍ය රොනාල්ඩෝ සුරක්ෂිතව අවසන් 16ට රැගෙන යයි