තරුණයෝ ආයෙත් පෝලිම්වල? තරුණයින් රට හැර යනවා - දිලිත්ගෙන් ආණ්ඩුවට කනේ පාරක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කරන කතාබහ තුළ රට ගොඩනැගීම සම්බන්ධ පැහැදිලි අන්තර්ගතයක් නොමැති බවට සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විවේචන එල්ල කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ එවැනි කතා හේතුවෙන් තරුණ පරපුරේ විශ්වාසය බිඳ වැටෙමින් ඇති බවත්, එය තරුණයින් නැවතත් විදේශගත වීම සඳහා පාස්පෝට් කාර්යාලවල පෝලිම්වලට එකතු වීමට බලපාන බවත්ය.
ඊයේ (27) පැවති සර්වජන බලයේ ඌව පරණගම කොට්ඨාස නියෝජිත හමුවක් අමතමින් ඔහු මෙසේද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව ජනාධිපතිවරයා කතා කරන අවස්ථාවලදී බාධා නොකිරීමේ පුරුද්දක් පවතින බවත්, එය ගරු කරන මන්ත්‍රීවරුන් ලෙස එම අවස්ථාවලදී නිහඬව සිටින බවත් ඔහු පැවසීය. එහෙත් එම සම්ප්‍රදාය අවභාවිතා කරමින් ජනාධිපතිවරයා විසින් අවලාද සහ විවේචන පමණක් ඉදිරිපත් කළ බවද ඔහු චෝදනා කළේය.
රටේ ගොවි ගැටලු, ජීවන වියදම, විදුලි හා ඉන්ධන මිල ගැටලු, ඩොලර් අගය ඉහළ යාමෙන් ජන ජීවිතයට ඇති බලපෑම් සහ අධිකරණ පද්ධතිය පිළිබඳ ජන විශ්වාසය වැනි ප්‍රධාන කරුණු ජනාධිපති කතාව තුළින් ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොවූ බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රටේ ජනාධිපතිවරයෙකුගේ ප්‍රධාන කාර්යය වන්නේ ජනතාව අභිප්‍රේරණය කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය, අපනයන ක්ෂේත්‍රය සහ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා බලාපොරොත්තුවක් ලබාදීම බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, අදාළ පාර්ලිමේන්තු කතාව තුළ එවැනි ධනාත්මක අනාගත දැක්මක් නොතිබූ බවටද ඔහු විවේචන එල්ල කළේය.