බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති කුණාටුව ඔර්නබ් නමින් නම් කරයි - සුළි කුණාටුව ඉතා දරුණු මට්ටමකට
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වී ඇති ‘ඔර්නබ්’ සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්රදේශවල තද සුළං සහ මුහුද නොසන්සුන් වීම පිළිබඳව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (26) පෙරවරු 9.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වේ. බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මෙලෙස ‘ඔර්නබ්’ සුළි කුණාටුව දක්වා තීව්ර වී ඇති අතර, එය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් අද රාත්රී 11.30 වන විට බටහිර මධ්යම බෙංගාල බොක්කේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ හේතුවෙන් අදාළ මුහුදු ප්රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 ත් 100 ත් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර් 3 ත් 4 ත් අතර උසකට ඉහළ යාමේ අවදානමක් පවතී.
එමෙන්ම ගිගුරුම් සහිත තද වැසි සමඟ මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බැවින්, උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනටමත් එම මුහුදු තීරයේ රැඳී සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන කරා යාත්රා කරන ලෙසත් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.